අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම, බෞද්ධ මධ්‍යස්ථානය අසලදී යතුරුපැදියක් හා බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පෙරේදා (25) තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ නොච්චියාගම, ළිංගල ප්‍රදේශයේ පදිංචි හිරාන් දිනුසුරු ප්‍රේමලාල් නමැති විසිනව (29) හැවිරිදි අවිවාහක තරුණයකි. ඉකුත්දා (24) රාත්‍රි අටට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ තරුණයා ප්‍රදේශවාසීන් එක්ව නොච්චියාගම ප්‍රාදේශිය රෝහල වෙත රැගෙනවිත් තිබේ. තුවාලකරුගේ තත්ත්වය බරපතළ වූ බැවින් එම අවස්ථාවේදීම අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරු පෙරේදා (25) උදෑසන අටට පමණ මියගොස් තිබේ.
මියගිය අය ඉහළවැටියාව ප්‍රදේශයේ තම හිතවතකුගේ දානමය පින්කමකට සහභාගී වී නැවත නිවසට පැමිණෙමින් සිටින අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇත. මියගිය අය තඹුත්තේගම සිට අනුරාධපුර – පුත්තලම මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයේ පැමිණ, ප්‍රධාන මාර්ගයට යතුරුපැදිය ඇතුළු කරන අවස්ථාවේදී බස් රථයේ බඳ ප්‍රදේශයේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය. අදාළ බස් රථය අනුරාධපුර සිට කලාඔය දක්වා ධාවනය වෙමින් තිබිණි.
බස්රථයේ රියැදුරු අනතුර සිදු වූ අවස්ථාවේදීම අසනීප තත්ත්වයක් හේතුවෙන් නොච්චියාගම රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය පසුව අත්අඩංගුවට ගෙන නොච්චියාගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය පැවසුවේය. අදාළ බස් රථය හා යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත. මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (25) උදෑසන අනුරාධපුර ශික්ෂණ රොහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි. නොච්චියාගම පොලිස් ස්ථානාධිපති එම්. එස්. කුමාරසේන මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ජගත් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (47899) අමරසිංහ, (35275) ප්‍රේමතුංග යන මහත්වරු සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වති.
අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ, අනුරාධපුර සංචාරක සශිනි මධුෂානි