Thursday, April 24, 2025
Home » අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ඉදිරියේදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ඉදිරියේදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

by sachintha
January 27, 2024 12:50 am 0 comment

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා

 

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා ඉදිරියේදී පුළුල් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ප්‍රකාශ කෙළේය.

කොළඹ 01, චෛත්‍ය පාර, ලයිට් හවුස් ගැලරිහි ඊයේ (26) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා එසේ පැවසීය.

අලුතෙන් පිහිටුවා ගනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බළකායේ කාර්යභාරයන් සහ මතින් තොර රටක් බිහිකිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ අනාගත වැඩපිළිවෙළ පැහැදිලි කරමින් වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු මෙසේ ද පැවසීය.

අපි පසුගිය වසර පුරාම විෂමත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට, ඒවාට ඇබ්බැහිවූවන් ඉන් මුදා ගැනීමට, පුනරුත්ථාපනය කිරීමට විශාල වැඩ කොටසක් කළා. අපි අපේ රටට විෂ මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට කටයුතු කරනවා. ඒ සඳහා විශාල කැප කිරීමක් කොට අප කටයුතු කරනවා.

අපේ රටේ අල්ලා ගන්නා මත්ද්‍රව්‍යවලට මොකද කරන්නේ කියා විශාල කතිකාවත් තිබෙනවා. අපි අල්ලා ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමට පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා විනාශ කරන්න යෑමේදී පවතින නීතිමය තත්ත්වයන් වඩාත් කාර්යක්ෂම කිරීමට නීති රීති හඳුන්වා දෙනවා. ඒ වාගේම මාර්තු මාසය වනවිට මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ජාලය ශක්තිමත් කරනවා. අපි වනාතවිල්ලුවේ මේ සඳහා සියලු පහසුකම් සහිත නව මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කරනවා. එහි මූලික ඉදිකිරීම් මේ වනවිට සිදුකර තිබෙනවා.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා –

මත්ද්‍රව්‍ය රටට ගෙන එන ප්‍රමාණය අඩු කරන්න ඕනෑ. ඒ වාගේම මේවා පාවිච්චි කරන අය අතරට යන දාමයට වැට බඳින්න ඕනෑ. අපි මේ දවස්වල මත්ද්‍රව්‍යවලින් තොර රටක් හදන්න ක්‍රමවේද දෙකක් අනුගමනය කරනවා. එකක් තමයි මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කරන එක, දෙක ඉල්ලුම් ජාලය දුර්වල කරන එක. නාවික හමුදාව ප්‍රධාන පිරිස් සැපයුම් ජාලය බිඳ වට්ටන්න විශාල වැඩ කොටසක් කරනවා. ඒ වාගේම පොලිස්පතිතුමාගේ මඟපෙන්වීම් මත මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය අඩපණ කිරීමට වැඩ කරනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා –

බන්ධනාගාරගත වන්නන්ගෙන් මතට ඇබ්බැහිවූවන් මුදා ගැනීමට වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මෙම මාධ්‍ය හමුව අමතා නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුනරුත්ථාපන) අරුණ දේශප්‍රිය, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩිලාන් ගුණරත්න යන මහත්වරු ද කතා කළහ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT