Home » සේවිකාවක ස්ථිර කරන්න ලිංගික අල්ලස් ගන්න ගිය එච්ආර් මැනේජර් අත්අඩංගුවට
දූෂණ විරෝධි පනත යටතේ පෞද්. අංශයේ පළමු වැටලීම

සේවිකාවක ස්ථිර කරන්න ලිංගික අල්ලස් ගන්න ගිය එච්ආර් මැනේජර් අත්අඩංගුවට

by sachintha
January 27, 2024 12:27 am 0 comment

 

දඹුල්ල පෞද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කර දෙන බව පවසා ඇය හබරණ ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් ලිංගිකව හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත එම හෝටලයේ ගණකාධිකාරි මෙන්ම මානව සම්පත් කළමනාකාරවරයාද වන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ 2023 අංක 9 දරන නව දූෂණ විරෝධි පනත මගින් පෞද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද බලතල අනුව කරන ලද ප්‍රථම වැටලීම අනුවය.

මහ විලච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පුද්ගලික හෝටලයක සේවය කරනු ලබන පැමිණිලිකාරියට දැනට ගෙවනු ලබන සියයට 75 ක සේවා ගාස්තු මුදල සම්පූර්ණයෙන් ගෙවීමට හා උසස් නිලධාරින් මගින් ඉදිරියේදී ඇයගේ සේවය ස්ථිර කර දීමට කටයුතු කිරීමටද ගණකාධිකාරී සහ මානව සම්පත් කළමනාකරු ලෙස එම හෝටලයේ රැකියාව කරන සැකකරු, ලිංගික අල්ලස් ඉල්ලා ඇයව හෝටලය වෙත රැගෙන ගොස් තිබියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT