Monday, April 21, 2025
Home » ජපානයේ බැටරි බැස්සූ මූන් ස්නයිපර්

ජපානයේ බැටරි බැස්සූ මූන් ස්නයිපර්

by sachintha
January 27, 2024 1:50 am 0 comment

“මෙය මිනිසකුගේ එක් පියවරක් පමණයි. එහෙත් මෙය මිනිස් සංහතියම ඉදිරියට තැබූ වේගවත් පිම්මක් වනු ඇත.”යනුවෙනි. මේ හා සමඟ ලෝකයේ බොහෝ රටවල් සඳ ගමන පිළිබඳව මහත් උනන්දුවෙන් පසුවිය. එහෙත් ඒ උනන්දුව හීන කරන්නට සමත් වූයේ මේ සඳහා අධික ධනයක් වැය කරන්නට හේතුවන නිසාය. කොයිහැටි වෙතත් වර්තමානයේ අලුතින්ම සඳ දිනන්නට ඉදිරිපත් වූ රට වූයේ ජපානයයි.

පෘථිවියේ සිට බලන කල චන්ද්‍රයා ඇත්තේ පෘථිවියට වඩා කිලෝමීටර 386,400ක් පමණ එපිටට වන්නටය. මෙසේ සඳ කොපමණ ඈතින් තිබුණද සඳ තරම් කවි සහ ගීතවලට යොදා ගත් ස්වාභාවික වස්තුවක් තවත් නැති තරම්ය. ඒ තරමටම සඳ මිනිසුන්ගේ සමීපතම හිතවතකු විය. යම් විටෙක වර්තමානයේ වුව සඳ මෙතරම් සමීප වන්නට ඇත්තේ ඉතිහාසයේ සිටම මිනිසා සඳ, වන්දනාමාන කළ හෙයින් වන්නටද පුළුවන. කෙසේ වෙතත් මෙතරම් මිනිසා කතාබහ කළ සඳට යෑමට පළමුව කටයුතු කළේ අමෙරිකාවයි. මානව ඉතිහාසයේ නැවුම් සන්ධිස්ථානයකට අඩිතාලම දමමින් 1969 ජූලි මස 21 දා අමෙරිකානු ජාතික නීල් ආම්ස්ට්‍රෝන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 8.00 පසු වී විනාඩි 8ට පමණ සඳ මතට පා තැබීය. කවියන් මෙන්ම ග්‍රන්ථ රචකයින් වර්ණනා කළ සඳ මතට පා තැබීමට ඔහු සමත් වූයේ ඒ මත පා තැබූ පළමු මිනිසා ලෙසිනි. ඒ මත පා තැබූ නීල් ආම්ස්ට්‍රෝන් ප්‍රකාශ කළා යැයි සඳහන් වන්නේ,

“මෙය මිනිසකුගේ එක් පියවරක් පමණයි. එහෙත් මෙය මිනිස් සංහතියම ඉදිරියට තැබූ වේගවත් පිම්මක් වනු ඇත.”යනුවෙනි. මේ හා සමඟ ලෝකයේ බොහෝ රටවල් සඳ ගමන පිළිබඳව මහත් උනන්දුවෙන් පසුවිය. එහෙත් ඒ උනන්දුව හීන කරන්නට සමත් වූයේ මේ සඳහා අධික ධනයක් වැය කරන්නට හේතුවන නිසාය. කොයිහැටි වෙතත් වර්තමානයේ අලුතින්ම සඳ දිනන්නට ඉදිරිපත් වූ රට වූයේ ජපානයයි.

2023 සැප්තැම්බර්:-

ජපානයට මෙම සඳ ගමනේ හදිස්සිය ඇති වූයේ ඉන්දියාව සඳට ගමන්කොට එහි උණුසුම නිවී යාමටත් මත්තෙනි. ජපානය සඳ ගමන සඳහා එක් වූයේ පසුගිය සැප්තැම්බරයේදී, දකුණු දිග ජපානයේ ටනිගෙෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කළ ‘H-ILA’ රොකට්ටුවත් සමඟිනි. මේ සමඟම විදෙස් මාධ්‍යයන් සඳහන් කළේ ජපානය සඳ තරණය කළ පස්වැනි රට බවට පත්වනු ඇති බවයි. ඔවුන් වැඩිදුරටත් මේ පිළිබඳව විස්තර සඳහන් කර තිබුණේ සඳ මතුපිට මෙතෙක් නොදුටු ඡායාරූපද දැක බලා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත කියාය. එයට හේතුව ලෙසින් ඔවුන් සඳහන් කර සිටියේ ‘H – ILA’ රොකට්ටුව රැගෙන ගිය ‘මූන් ස්නයිපර්’ යනුවෙන් හැඳින්වූ ලෑන්ඩරය අධිතාක්ෂණික උපාංගවලින් සමන්විතව පවතින නිසා යන්නය. මෙතෙක් කිසිදු රටකට නිශ්චිතවම ගොඩබසින ස්ථානය පිළිබඳව සඳහන් කළ නොහැකි මුත් මූන් ස්නයිපර් ලෑන්ඩරයට නිශ්චිත ස්ථානය වේලාසනම දැන ගැනීමේ හැකියාව පවතින බව ජපානය විසින් සඳහන් කර සිටියේය. මෙහි සඳ ගමන තෙවරක්ම අත්හැර දැමීමට ජපානයට සිදු වූයේ පසුගිය වසරේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි. කොයිහැටි වෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ මෙම වසරේ පෙබරවාරි මස පමණ වන විට සඳ ගමන ආරම්භ කළ හැකි බවය. මේ සඳහා ඔවුන් වැය කළ මුදල ලෙසින් සඳහන් කර තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන සියයක පමණ මුදල්මය අගයකි.

මේ ආකාරයට සැප්තැම්බර් මුල් සතියේ ජපානය සඳ ජයගැන්ම වෙනුවෙන් එකතු වීමත් සමඟ පසුගිය ජනවාරි 20 වැනිදා ඔවුන්ට සුවිශේෂිතම දිනයක් විය. මන්ද ඊට පෙරදින එනම් 19 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියේදී තම පළමු අභ්‍යවකාශ යානය සඳ මතට ගොඩබැස්වීම හේතුවෙනි. සැප්තැම්බරයේ රොකට්ටුව ගුවන්ගත කිරීමත් සමඟ ‘මූන් ස්නයිපර්’ යනුවෙන් මෙම මගීන් රහිත යානය නම් කළ ද එය හඳුන්වන්නට යොදා ඇති නාමය වන්නේ SLIMය. (SMART Lander for Investigation Moon)

ජපානය විසින් මූන් ස්නයිපර් ගුවන්ගත කිරීමේදීම සඳහන් කරන ලද කාරණාවක් වූයේ අන් කිසිදු රටකට කළ නොහැකි වූ වික්‍රමයක් ඔවුන් විසින් සිදු කරනා බවයි. ඔවුන් ඒ කියූ ලෙසම නිශ්චිත ස්ථානයටම යානය ගොඩබෑමට සැලැස්වීමයි. ඔවුන්ගේ මූලික සැලසුම්වලදීම ක්‍රියාත්මක වූ පියවරක් වන්නේ ගොඩබෑමට නියමිත නිවැරැදිම ස්ථානයට මීටර් 100ක් හෝ අඩුම තරමින් එහා මෙහා වුවද යානය ගොඩබැස්ස වීමයි. මෙම සඳ මත ගොඩබෑමත් සමඟ අමෙරිකාව, සෝවියට් සංගමය, චීනය සහ ඉන්දියාවට පසු සඳ මතට ගිය පස්වැනි රට ලෙසින් ඉතිහාසගත වේ.

මූන් ස්නයිපර් ගොඩබෑම

යානය ගොඩබැස්සවීම සඳහා ජපනුන් තෝරාගෙන තිබුණේ ඉතාමත්ම සුවිශේෂි වූ ස්ථානයකි. 1969 ජූලි මස 21 වනදා නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් යන දෙදෙනා සඳ මත පා තැබූ ස්ථානය ලෙසින් සඳහන් වන්නේ, නිසල මුහුදු කලාපයට අයත් ෂියෝලි නමැති ආවාටය ආසන්න ස්ථානයකි. මෙය යම් කිසි වූ ඓතිහාසිකමය අගයක් ගන්නා හෙයින් ජපානය තම යානය ගොඩබැස්ස වීම සඳහා සුදුසුම ස්ථානය ලෙසින් හඳුන්වාගනු ලැබුවේ මෙම ස්ථානයයි. කෙසේ වෙතත් ජපානය පැවසූ පරිද්දෙන්ම ඔවුන්ට නියමිත ස්ථානයටම යානය පතිත කිරීමට හැකියාවක් ලැබුණේද යන්න මේ වන විටත් කිසිදු මාධ්‍යයක සඳහන්ව නැත. එහෙත් එය ඉදිරි කාලයේදී තමා විසින් සඳහන් කරනා බව ජපානය විසින් සඳහන් කර සිටී.

ජපනා හපනා වුවත් ඔවුන් විසින් සඳට යැවූ යානාවට අවසාන අවස්ථාවේ මුහුණ දීමට සිදු වූයේ කිසිවෙකුත් නොසිතූ අකර තැබ්බයකටය. එහි වූ සූර්ය කෝෂයන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය විදුලිය නොමැති වීමයි. කොපමණ මුදලක් වැය කළ ද නිසි ආකාරයෙන් විදුලිය ක්‍රියාත්මක නොවුණහොත් ජපානයට සිදු වන්නේ මැරතන් තරගයක අවසානයටම ගොස් ජය කණුව ළඟදී ඇද වැටුණා වැනි වැඩකි. පැය 2යි මිනිත්තු 37ක් ඇතුළත ගවේෂණ යානය සඳ මතට ගොඩබෑම පිළිබඳ සියලු දත්තයන් තමා වෙත ලැබුණු බව ජපාන අභ්‍යවකාශ ඒජන්සිය පවසන අතරම යානයේ යම් තාක්ෂණික දෝෂයක් තිබෙන බවද සඳහන් කළේය. යානය සඳ මතට ගොඩබැස්ස වීමෙන් පැය තුනකට පසු අභ්‍යවකාශ ඒජන්සිය සිය විමර්ශනයන් නවතා දමා තිබුණේ යානය යළි යථා තත්ත්වයට පත් කර ගන්නා තුරුය. කොයි හැටි වෙතත් ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ සූර්ය කෝෂ විදුලිය ජනනය නොකරන්නේ මන්දැයි අපහැදිලි බවත් එයින් නිසි අයුරින් ශක්තිය උත්පාදනය වෙතැයි දැඩි බලාපොරොත්තුවක් තිබූ බවත්ය. ඒ කතාවන් කෙසේ වෙතත් සූර්ය කෝෂ ක්‍රියාකාරි නොවුණහොත් පවතින බැටරිවලටද පැවතිය හැක්කේ පැය කිහිපයක් පමණි. තව දුරටත් ඔවුන් සඳහන් කරන්නේ SLIM යානය ට්‍රක් රථයක ප්‍රමාණයෙන් යුක්ත වන අතර එය නිශ්චිතවම ගොඩබෑම සඳහා කැමරා සහ සංවේදන භාවිත කරනු ලැබූ බවය. යානයේ කැමරාවන් නිර්මාණය කර ඇත්තේ චන්ද්‍ර පෘෂ්ඨයේ ඡායාරූපයන් ගැනීම සඳහා වන අතර යම් හෙයකින් යානය ඒවා මත පතිත වීමේ අවදානමක් ඇතිවිය හැකියැයිද ඔවුහු සඳහන් කර සිටියහ.

රුසියාවේ ලූනා – 25

ජපානයේ මෙම සඳ ගමනට පෙර සාර්ථකව සඳ වෙත ගමන් කළ රට වූයේ ඉන්දියාවයි. ඉන්දියාව හා මේ කාලයේදීම රුසියාව සඳ තරණය කිරීමේ තරගයක නියැළී සිටියේය. රුසියාවට අවශ්‍ය වූයේ ඉන්දියාවට දිනකට හෝ පෙර සඳ මතට තම යානය ගොඩබැස්වීමේ අවශ්‍යතාවයි. එහෙත් එය පුස්සක් බවට පත්වූයේ ලූනා – 25 සඳ මතට කඩා වැටීමත් සමඟය. ජපානයට මෙන්ම රුසියාවට ද අවාසනාව හරස් වූයේ එසේය.

රුසියාව තමන්ගේ පළමු මෙන්ම අවසන් සඳ ක්‍රියාන්විතය සිදු කරනු ලැබුවේ වසර පනහකටත් එපිට කාලයකදීය. ඉන්පසුව ඔවුන් ලූනා 25 අභ්‍යවකාශගත කරනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු 11 වනදාය. ඔවුන් අපේක්ෂා කරනු ලැබුවේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබාන ප්‍රථම යානාව ලූනා 25 වනු ඇති බවය. එහෙත් එය තම පාලනයෙන් මිදී සඳ මතට කඩා වැටීමත් සමඟින් ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල බොඳවිය. රුසියාව ලූනා – 25 අභ්‍යවකාශගත කරනු ලැබුවේ Soyuz නමින් හඳුන්වනු ලැබූ රොකට්ටුව මඟිනි. ලූනා 25 හිමිව තිබූ රොස්කොස් මොස් ආයතනය, යානය මතට කඩා වැටීමෙන් පසු ප්‍රකාශ කර සිටියේ එය අහිමිව යාම විශාල පාඩුවක් බවයි. මේ අලකලංචියත් සමඟම පසුදිනම රුසියානු රාජ්‍ය අභ්‍යවකාශ සංස්ථාව වන රොස්කොස්මොස් මෙසේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ කිලෝග්‍රෑම් 800ක් බරැති ලූනා – 25 ස‍ඳෙහි පෘෂ්ඨය මත වැදීමෙන් විනාශව ගිය බවය.

රුසියාවට එසේ වන විට ජපානයට සිදුව ඇත්තේ ඊටත් වඩා කනගාටුදායක තත්ත්වයකි. මෙම ගමන ඉතිහාසගතව සනිටුහන් වන්නේ ජපාන යානය සාර්ථකව සඳ මත ගොඩබැස්සුවද මෙය නම් කළ හැකි වන්නේ නිසි අයුරින් පල නෙළා ගැනීමට නොහැකි වූ සඳ ගමනක් ලෙසිනි. සරලව කියන්නේ නම් එය භාගෙට ඇඳුම් ඇඳගෙන කඩේ ගියා වැනි වැඩකි. එහෙත් එය අසාර්ථක සඳ ගමනක් ලෙසටද කිසිවකුටත් කිව නොහැකිය.

ජපානය මෙම සඳ ගමනේදි එහි මතුපිට සිට ගමන් කළ හැකි රොබෝ වාහන දෙකක් ද යැවීමට අමතක කළේ නැත. ඒවා හඳුන්වා දී තිබුණේ LEV -1 සහ 2 යනුවෙනි. මේවාට පවරා තිබූ කාර්යයන් වූයේ සඳ මත තොරතුරු ගවේෂණය කිරීමයි.

කොයිහැටි වෙතත් මේ මොහොතේ ජපානයට යම් අයුරකින් හෝ සතුටුවිය හැකි තවත් එක් කාරණාවක් ඉතිරි වී තිබේ. එහෙත් එය ද මේ වන විට තවමත් නිශ්චිත නැත. එනම් ‘මූන් ස්නයිපර්’ ඔවුන් සඳහන් කළ අයුරින්ම නිශ්චිත ස්ථානයටම ගොඩබා ඇතිදැයි යන කාරණාවය. මේ පිළිබඳව බොහෝ අභ්‍යවකාශ විද්‍යාඥයින්ගේ අවධානය යොමුව තිබිණි. එහෙත් සියල්ලටම හපනා යැයි කියනා ජපනාට සිදු වූයේ කවරක් ද යන්න පිළිබඳව කරුණු සෙවීමට මේ වන විටත් වේලාසන වැඩිය.

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT