Monday, April 21, 2025
Home » සැකයක් නිසා ආදාහනාගාරයේ තිබූ දේහයට කළ දේ

සැකයක් නිසා ආදාහනාගාරයේ තිබූ දේහයට කළ දේ

by yasara
January 26, 2024 3:13 pm 0 comment

මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියාව වැළදී මිය ගිය බවට වෛද්‍ය නිගමනය සහිතව ආදාහනය කරමින් තිබූ දේහයක් සම්බන්ධයෙන් ඥාතීන් සැක පහළ කිරීමේ හේතුවෙන් ආදාහනාගාරයේ දැවෙමින් තිබූ මළසිරුර වැඩිදුර පරීක්ෂණයක් සඳහා වතුපිටිවල මූලික රෝහලට ගෙන ගිය බව මීරිගම පොලිසිය කියයි .

මෙසේ මිය ගොස් ඇත්තේ මීරිගම සෙත් සෙවන වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ආර්. ඩී.සිරිසෝමා රණසිංහ 81 නමැති කාන්තාවකි .

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව ඇගේ සමීප ඥාතියකු විසින් මාස හය හතකට පමන පෙර දී වැඩිහිටි නිවාසයට භාර කර ඇතැයි පොලිසිය සඳහන් කරයි .

නේවාසිකව වැඩිහිටි නිවාසයේ කාලය ගත කරමින් සිටි කාන්තාව රෝගාතුර වීමෙන් පසු මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත .

දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මරණයට පත් වී ඇතැයි ද නිව්මෝනියා රෝගී තත්ත්වය නිසා මරණය සිදුවී ඇති බව වෛද්‍ය නිගමනය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .

බාරකරුට දැනුම් දීමෙත් පසු ඔවුන් නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශයේ මල්ශාලාවක මාර්ගයෙන් දේහය ආදාහනය කිරීමට කටයුතු කර ඇති බවත් ඒ අතර මියගිය කාන්තාවගේ ඥාතියකු මෙම මරණය සැක සහිත බවට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත කළ පැමිණිල්ලක් අනුව වැඩිදුර පරීක්ෂණයක් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත .

ඒ වන විට දේහය මීරිගම ආදාහනාගාරයේ ආදාහනය කරමින් තිබී ඇති අතර මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජයවර්ධන මහතා සහ මීරිගම පොලිසිය පැමිණ ආදාහන කටයුතු නවතා දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා වතුපිටිවල රෝහලට ගෙන යාමට පියවර ගෙන ඇත .

වතුපිටිවල රෝහලේදි සිදුකළ මරණ පරීක්‍ෂණය සම්බන්ධයෙන් ද ඥාතීන් සෑහීමකට පත් නොවීම හේතුවෙන් පිළිස්සුනු මළ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කර ඇතැයි පොලීසිය සඳහන් කළේය .

පිරිස්සුණු දේහය තව දුරටත් වතුපිටිවල රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මීරිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT