Sunday, April 20, 2025
Home » කුඩා පරිමාණ වාරි ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 1000ක්

කුඩා පරිමාණ වාරි ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 1000ක්

by chanaka
January 25, 2024 1:06 pm 0 comment

කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලී ප්‍රතිසංස්කරණය සඳහා 2024 වසර සඳහා ද රුපියල් මිලියන 1000ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර තිබේ.

දැනට අප රටේ කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති 17,000ක් තිබේ. මේවා ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය වසරේ ආරම්භ වූ අතර 2023 වසර සඳහා ද රුපියල් මිලියන 1000ක් වෙන් කරනු ලැබීය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු වැව් 100ක පමණ කටයුතු මේ වනවිට සාර්ථක ව අවසන් කර තිබේ.

මේ අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලද වැව් රැසක් නිරීක්ෂණය කළේය.

ඒ අනුව වාරියපොල මූණමලේ වැව, නිකවැව, බළල්ල බොරවැව, කටුපීටිවැව, නියදගලවැව, අමුණකොළේ එල්ලංගා පද්ධතිය, ගල්කන්දේගම වැව, මතඹලෑව, බක්මීවැව හා කුඩාවැව ඇතුළු වැව් රැසක් අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කළේය.

මෙම වැව් සියල්ලම මේ වනවිට රජයේ මුදල් යොදාගනිමින් ඉතාමත් හොඳින් පිළිසකර කර ඇති අතර ඒ යටතේ වසර ගණනාවක් තිස්සේ වගා නොකරන ලද කුඹුරු රැසක් මේ වනවිට සාර්ථක ලෙස වගා කර තිබේ.

2024 යල් කන්නය තුළ ජලය සිදී ගිය පසු තවත් වැව් රාශියක් ප්‍රතිසංස්කරණය සඳහා මේ වනවිට සියලු කටයුතු යොදා ඇති අතර මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු මුළුමනින්ම ගොවිජන සංවිධානවල පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

මෙම වැව්වල තිබු කටුසු කොඳු වැනි වැව් ඉවුරු වාහන දෙකකට පහසුවෙන් මාරු විය හැකි පරිදි පළල් කර සැකසීම සම්බන්ධව ගොවි ජනතාව රජයට ස්තුතිය පළ කළෝය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට ආර්ථික ගැටළු තිබුනත් ගොවි ජනතාවට පහසුකම් සැලසීම සඳහා 2023 වසරේ දී රුපියල් මිලියන 3000ක් ලබා දුන්නාක් මෙන් 2024 වර්ෂය සඳහා ද මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් මිලියන 3000ක මුදලක් ලබා දුන් බව සඳහන් කළේය.

මෙම මුදල් යොදාගනිමින් මෙම වර්ෂය තුළ ද කුඩා පරිමාණ වැව් හා අමුණු රැසක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවන්ට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් සහ පාර්ලිම්න්තු මන්ත්‍රී මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT