ඔක්තෝබර් මස පුන් පොහෝදින සිට පුරා තුන්මසකට අධික කාලයක් දිනපතා චිරප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේලා විසින් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනා මාලාවකින් කැලණි දුරුතු පුණ්‍ය මහෝත්සවයේ සමාරම්භය සනිටුහන් කෙරේ. එහි සමාප්තියත් සමඟ ලක්වැසි සැමට සෙත්පතා පැවැත්වෙන සත්වරුවේ මහා පරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භ වෙයි.
සෑම වසරකම දුරුතු මස උදාවීමත් සමඟ බුදුපියාණන්ගේ තෙවන ලංකාගමනය ඉමහත් ගෞරවයෙන් අනුස්මරණය කරමින්, ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරස්ථානයෙහි පැවැත්වෙන දුරුතු පුණ්‍යෝත්සව මාලාවට කැලණි ප්‍රෙද්ශයේ බොදු ජනතාව සමඟ සමස්ත ලක්වැසි බොදු ජනතාව ඉතසිතින් කැපවී දායක වනුයේ ද ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියෙනි.
විවිධ අර්ථයන්ගෙන් ශ්‍රී ලංකාවේ ජන සමාජය නැවුම් මුහුණුවරක් ගෙන ඇති පසුබිමක මෙවර ද කැලණි විහාරයේ දුරුතු පුණ්‍ය මහෝත්සවය ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා කිත්සිරිමෙවන් කැලණි විහාරය යන උභය විහාරාධීශ්වර අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිතාභිධාන නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් හා මෙහෙයවීමෙන් තෙමසක පමණ කාලයක් පුරා මහත් ශ්‍රද්ධාවෙන් ද සුවිශේෂී සම්භාවනීය හා පූජනීය බවකින් ද යුක්තව පවත්වනු ලැබීම ලංකාවාසී සියලු බෞද්ධ ජනයාගේ ප්‍රසාදානන්දයට හේතු වී ඇත. එළඹෙන දුරුතු මස 22,23 හා 24 දිනවල පූර්ණ ඓතිහාසික පෙරහර පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ.
ඔක්තෝබර් මස පුන් පොහෝදින සිට පුරා තුන් මසකට අධික කාලයක් දිනපතා චිරප්‍රසිද්ධ ධර්මදේශකයාණන් වහන්සේලා විසින් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනා මාලාවකින් කැලණි දුරුතු පුණ්‍ය මහෝත්සවයේ සමාරම්භය සනිටුහන් කෙරේ. එහි සමාප්තියත් සමඟ ලක්වැසි සැමට සෙත්පතා පැවැත්වෙන සත්වරුවේ මහා පරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භ වෙයි. පිරිත් දේශනාවට ආවේණික පෞරාණික මෙන් ම සාම්ප්‍රදායික අභිචාර හා චාරිත්‍ර විධි සියල්ල නොපිරිහෙලා සපුරමින් මෙම දුර්ලභ පින්කම පැවැත්වේ. ඊට ලක්දිව සිව්දිගින් වැඩමවන දක්ෂ හා ව්‍යක්ත පරිත්‍රාණ ධර්මදේශකයන් වහන්සේලාගේ සහභාගීත්වය හා දායකත්වය හිමිවීම බොදුජනයාගේ භාග්‍යයකි. දොරකඩ අස්න හා අනුශාසනා දේශනාවෙන් පරිසමාප්තියට පත්වන පරිත්‍රාණ ධර්ම දේශනා මහපින්කම දුරුතු මසින් උදාවන නව වසරේ ලක්වැසි සැමට ඉමහත් ආශීර්වාදයක් ලෙස සලකනු ලැබේ.
අනතුරුව උදාවන්නේ සුවිශේෂී පෙරහර උත්සව සමයයි. පිරිත් දේශනාවට පූර්වයෙන් ද අලංකාර පරිවාර පෙරහර කිහිපයක් පැවැත්වේ. කැලණිය පොලිසිය, පිලපිටිය මහා විද්‍යාලය හා ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය සංවිධානය කරන එම පෙරහර මෙවර විවිධ අලංකාර නවාංගණයන්ගෙන් ශෝභමානව අත්‍යලංකාරයෙන් පැවැතියේ ඊට දායක, මූලික හා කාරක වූ සියල්ලන්ගේ මහත් ශ්‍රද්ධාව හා කැපවීම හේතුවෙනි.
කැලණි දුරුතු පින්කම් මාලාවේ සුවිශේෂාංග මෙවර අත්‍යලංකාරයෙන් හා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන පෙරහර මහෝත්සවයයි. පිළිවෙළින් ජනවාරි 21 වන දින දේවදූත පෙරහර උඩමළුවේ ද ජනවාරි 23 වන දින ධාතු පෙරහර ද හා 24 වන දින අවසන් රන්දෝලි මහා පෙරහරද පැවැත්වේ. ඊට පරිවාර පෙරහර වශයෙන් විෂ්ණු, කතරගම හා විභීෂණ දේවාල පෙරහර එක් වේ. අඩසියයකට ආසන්න අලංකාර ලෙස සරසනු ලැබූ අලි ඇතුන් සමූහයකින් ද, උඩරට, පහතරට හා සබරගමු යන ත්‍රිවිධ සම්ප්‍රදායයන්ට අයත් සියගණනක් ශිල්පීන්ගේ වාදන හා නර්තනාංගයන්ගෙන් ද අත්‍යලංකාර වන මෙවර පෙරහර දෙස් විදෙස් ජනයාගේ ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියට හේතුවනු ඇත. එසේම එය එළැඹුණු නව වසරේ අගනුවරාසන්නයේ මුළුදෙන මහා සංස්කෘතික මංගල්‍යය ද වනු ඇත.
ජනවාරි 25 වන දිනට යෙදෙන දුරුතු පුර පසළොස්වක පුන් පොහෝ දින දවස පුරා පැවැත්වෙන දාන ශීල භාවනා පින්කම් මාලාවෙන් මෙම මාහැඟි ආශීර්වාදාත්මක පුණ්‍ය මහෝත්සවය නිමාවට පත්වේ.
දිවයිනේ නන්දෙසින් මෙම උත්සව හා පින්කම් මාලාවට සහභාගි වීම සඳහා පැමිණෙන දේශීය සුපින්වතුන්ගේ මෙන්ම මෙම දුර්ලභ අවස්ථාවන් සියැසින් දැක විඳගැනීමට පැමිණෙන විදේශික සැමට අවශ්‍ය පහසුකම් සැලසීමට ප්‍රදේශයේ රාජ්‍ය හා ස්වෙච්ඡා සංවිධානවල සහභාගිත්වයෙන් හා දායකත්වයෙන් කටයුතු පිළියෙල කෙරේ.
ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය පෝෂණය හා සංරක්ෂණය කිරීමේ අපගේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ උත්කෘෂ්ඨාභිප්‍රායට ආශීර්වාදය දායකත්වය, අනුග්‍රාහකත්වය හා සහභාගිත්වය දක්වන පිරිස අතිවිශාලය. කැලණිය දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් විරසිංහ මැතිතුමන්, ප්‍රධාන බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මැතිතුමා, විභීෂණ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ලලිත් හපන්ගම, විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ජයරාජ චන්ද්‍රෙස්කර සහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් සමන්ත පෙරේරා, දායක සභාව, විහාරස්ථ සංවර්ධන සභාව, විශේෂ දායකත්වයන් සපයන පින්වතුන් සහ ආයතන ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය, ජනාධිපති කාර්යාලය, ගම්පහ දිසාපති ඇතුළු රාජ්‍ය ආයතන, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, කැලණිය ප්‍රාදේශීය සභාව හා මාධ්‍ය ආයතන විශේෂ පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කළ යුතුය.
මෙවර කැලණි රාජමහා විහාර ආලෝක පූජාවේ දායකත්වය දරනු ලබන්නේ කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල් ආයතනයේ සභාපති සුනිල් තිලකවර්ධන මැතිතුමාය.
ධම්මික ආටිගල
ප්‍රධාන බස්නායක නිලමේ
කැලණිය
රජමහා විහාරය,