මදුරුවන් බෝ වන අයුරින් ඉතාමත්ම අපිරිසිදු තත්ත්වයෙන් ගබඩා පරිශ්‍රයක් පවත්වා ගෙන ගිය බවට වරද පිළිගත් පෞද්ගලික දුරකථන සමාගමකට අයත් ගබඩා පරිශ්‍රයක් වෙනුවෙන් පෙනී සිටි විත්තිකරුවෙකුට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉකුත් 19 වනදා පස්වරුවේ රුපියල් විසිපන් දහසක දඩ නියම කළේය.
පෞද්ගලික දුරකථන සමාගමකට අයත් තිහාරිය මල්වත්ත ගබඩා සංකීර්ණයක නන්දන හේවගේ ජනක නැමැත්තෙකුට එසේ දඩ නියම කැරිණි.
එම ගබඩා පරිශ්‍රය තුළ අනාරක්ෂිතව දමා තිබූ අබලි ද්‍රව්‍යවල වැසි ජලය පිරී මදුරු කීටයන් විශාල වශයෙන් බෝවී සිටීම හේතුවෙන් ඩෙංගු මර්දන වැඩ සටහන යටතේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් විත්තිකරු අත් අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියේ පෙනී සිටීමේ කොන්දේසිය යටතේ ඇප බැඳුම් කරයක් මත මුදා හැර තිබිණ.
මෙය ඉකුත් 19 වනදා පස්වරුවේ කැඳවූ අවස්ථාවේ තිහාරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ටෙරන්ස් මාධව මහතා කරුණු දක්වමින් මේ වන විට රටපුරාම විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිර යාම හේතුවෙන් ආරක්ෂක අංශයේ නිලධාරීන් ගේද දායකත්වයෙන් කරන ලද විශේෂ ඩෙංගු සෝදිසි මෙහෙයුමකදී විත්තිකරු නියෝජනය කරන සමාගම් පරිශ්‍රය තුළ අනාරක්ෂිතව දමා තිබූ විවිධ අබලි ද්‍රව්‍ය හා විවිධ භාණ්ඩ වල වැසි ජලය පිරී විශාල වශයෙන් මදුරු කීටයන් සිටීම හේතුවෙන් මොහු අත් අඩංගුවට ගත් බව කියා සිටියේය.
පැමිණිල්ලේ කරුණු දැක්වීම්වලින් අනතුරුව විත්තිකරු වරද පිළිගත් හෙයින් එසේ දඩ නියම කැරිණි.
තිහාරිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ටෙරන්ස් මාධව හා රන්පොකුණගම මහජන සෞඛ්‍ය පරීක්ෂක අනූෂ දයාරත්න යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.