ප්‍රසිද්ධ වෙළඳ නාමයක නමින් ව්‍යාජ ලෙස සකස් කළ බීඩී නිපදවා සංවිධානාත්මකව විකුණූ බව කියන නඩු හතරකට අදාළව අධිකරණය හමුවට පැමිණ වූ සැකකරුවෙකුට තරයේ අවවාද කළ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය සැකකරු මිලියන දෙකක පුද්ගල ඇප මත මුදාහරින ලෙස 19වන දින නියම කළේය.
ඇප නියමවූ සැකකරු වුයේ කටානේ අක්කරපනහ ප්‍රදේශයේ ඔදිලියා නිවාස යෝජනාක්රමයේ පදිංචිකරුවෙකු බව කියන ජානක සම්පත් බණ්ඩාර නමැත්තෙකි. දුන්ගාල් පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජයරත්න සිල්වා මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව සැකකරු තෝරා බීඩී කර්මාන්ත ශාලාවේ වසර හතරක් පමණ සේවය කර ඇත.
සේවයෙන් ඉවත්වූ පසු සැකකරු වෙනත් නමකින් එවැනිම ව්‍යාපාරයක් ආරම්භ කර එහි නිපදවන බීඩීවලට ජනප්‍රිය බීඩී වර්ගයක් බව කියන තෝරා බීඩී ලේබල් ව්‍යාජ ලෙස මුද්‍රණය කර බෙදාහැර තිබේ. දුන්ගාල් පිටිය පොලිසිය විසින් විමර්ශන සිදුකර ව්‍යාජ බීඩී 20000ක් සමඟ කඩ හතරක හිමිකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන් තිබිණි.
උපපොලිස් පරීක්ෂක ජයරත්න සිල්වා මහතා සමඟ පොලිස් කොස්තාපල් ලක්මාල් ( 22615) මහතා පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රිමාල් අමරසිංහ මහතා සමඟ සරා නිශාධි මහත්මිය සැකකරු වෙනුවෙන් පෙනිසිටියාය.
වැඩිදුර විභාග 2024 11.26 දිනට කැඳවීමට දින නියම විය.