16 හැවිරිදි තරුණයකු පැදවූ යතුරුපැදියක ගැටී 85 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මිය යාමෙන් අනතුරුව සැකකාර තරුණයාට යතුරුපැදිය ලබා දුන් පියා ද අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ජී. විමලාවතී නැමැති 85 හැවිරිදි කාන්තාවකි.
සැකකාර තරුණයාගේ මව්පියන් ඉදි ආප්ප තම්බා වෙළඳසල්වලට දැමීමේ ව්‍යාපාරයක් සිදු කරන අතර යතුරුපැදිය හිමි පියා පෙරේදා (20) අසනීපව සිටි බැවින් සැකකාර පියා සිය පුතු වන සැකකාර තරුණයාට යතුරු පැදිය ලබාදී ඉදි ආප්ප වෙළෙඳසල්වලට දැමීම සඳහා යන ලෙස පවසා තිබූ බව පොලිසිය කියයි.
තරුණයා ඉඳි ආප්ප රැගෙන දෙල්කඳ පරණ කැස්බෑව පාරේ නුගේගොඩ දෙසට යමින් සිටියදී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවට අයත් සේවා පියස ඉදිරිපිට මල් කඩමින් සිට නිවස වෙත පැමිණීම සඳහා පාර මාරු වෙමින් සිටි වයෝවෘද්ධ කාන්තාවගේ ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
බරපතළ තුවාල ලද වයෝවෘද්ධ කාන්තාව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
රියැදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කර අනතුරක් සිදු කර පුද්ගල මරණයක් සිදුකිරීම සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයාත් රියැදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට යතුරුපැදියක් ලබාදීම සම්බන්ධයෙන් ඔහුගේ පියාත් අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගජනායක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.