කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවයක් ලබා දීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් අම්පාර කම්කරු කාර්යාලයේ නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් ඉකුත්දා (19) අත්අඩංගුවට ගනු ලැබිය. පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ සිට වෙස්වලාගෙන පැමිණි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ මරදමුනේ අවන්හලක දී ය.
සිද්ධිය සම්බන්ධයෙන් වින්දිතයා අදාළ පාර්ශ්ව වෙත කළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, වැඩිදුර විමර්ශනවලදී හෙළි වූයේ අත්අඩංගුවට ගත් සැකකරු අපරාධයක් සම්බන්ධයෙන් දැනටමත් රජයේ සේවයෙන් වැඩ තහනම් කර පසුව නැවත සේවයේ පිහිට වූ පුද්ගලයෙක් බවයි. මෙසේ අත්අඩංගුවට පත් වූයේ අම්පාර කම්කරු කාර්යාලයේ සේවය කරන ඊ. එල්. අබ්දුල් නෂාර් නමැති කම්කරු නිලධාරියෙකි. අත්අඩංගුවට ගත් සැකකරු කල්මුනේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පෙබරවාරි මස දෙවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කල්මුණේ අධිකරණ විනිසුරු එම්. එස්. එම්සගම්සුදීන් මහතා නියෝග කරනු ලැබීය.