පැල්මඩුල්ල පහළ කුට්ටාපිටිය ප්රදේශයේ මැණික් පතල් වළකට ඇදවැටුණු 48 හැවිරිදි පතල්කරුවකු මරුමුවට පත් වී ඇති බව කහවත්ත මූලික රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත. ඊයේ (21) අලුයම පහට පමණ මෙම පතල්කරු පතළයට ඇද වැටී ඇත්තේ ජල මෝටරයක් සවි කිරීමට යෑමේදීය. පැල්මඩුල්ල, රිල්හේන සමඟි මාවතේ පදිංචි ඊ.එම්. කැළුම් කෝලිත නම් තිදරු පියකු මෙලෙස මරුමුවට පත්ව තිබේ. මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය පැල්මඩුල්ල වැඩ බලන හදිසි මරණ පරීක්ෂක ටී.එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසින් කහවත්ත මූලික රෝහලේ දී සිදු කරන ලදි. සිද්ධිය වූ ස්ථානයේ පතල් වළවල් දෙකක් පමණ ඇති අතර එක් පතල් වළක ජලය හිස් කිරීමට තවත් අතිරේක වළක් කපා ඇතැයි ද මියගිය පතල්කරු ඇද වැටී ඇත්තේ අඩි 15ක් පමණ ගැඹුරු එම පතල් වළට බව ද පැල්මඩුල්ල පොලිසිය පැවසීය. පැල්මඩුල්ල පොලිසියේ සැරයන් (8660) අනුරතිලක මහතා සාක්කි මෙහය වීය.