Home » ලංකාවේ අල්ලස හා දූෂණය මැඩලීමට අවශ්‍ය නීති සම්පාදනය කර අවසන්

ලංකාවේ අල්ලස හා දූෂණය මැඩලීමට අවශ්‍ය නීති සම්පාදනය කර අවසන්

by chanaka
January 22, 2024 4:43 pm 0 comment

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය මැඩලීමට අවශ්‍ය නීති සම්පාදනය කර අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය Felix Neumann මහතා අතර හමුවක් අද (22) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙරට ජාතීන් අතර සංහිදියාව ගොඩ නැංවීම සදහා ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව කාර්යාලය හා හානි පුර්ණ කාර්යාලය ස්ථාපිත කර ඇති බවත් සත්‍ය සෙවීමේ කොමිෂම කඩිනමින් ස්ථාපිත කිරීමට නියමිත බවත් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.

මෙරට අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් වර්තමානයේ දේශපාලඥයින් වෙත ඇගිල්ල දිගු වී ඇති බවත්, දේශපාලඥයින්ව මෙරට මහජනතාව ප්‍රතික්ෂේප කරන තැනට පත්ව ඇතැයිද මෙම තත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර වන බැවින් එය වෙනස් කිරීම සඳහා මෙරට සිදු වන දුෂණ අක්‍රමිකතා අවම කිරීම සදහා අවශ්‍ය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, මැතිවරණ වියදම් නියාමනයන කිරීමේ පනත හා දුෂණ විරෝධි පනත වැනි අණ පනත් මේ වන විටත් සම්මත කර ඇති බවත් ඒ තුළින් දූෂණයෙන් සහ අක්‍රමිකතාවයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ මූලික අඩිතාලම සකසා ඇති බවද අමාත්‍යතුමා විසින් පැහැදිලි කළේය.

අධීකරණ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් සහ කඩිනම් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම අනෙකුත් අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර අවසන් බැවින් මෙම වසර අවසානය වන විට නඩු ප්‍රමාදවීම් ඇතුළු ගැටළු රැසකට විසදුම් ලැබෙනු ඇති බව ජර්මානු තානාපතිවරයා වෙත ඇමතිතුමා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ සමථකරණ ක්‍රියාවලිය තුළින් ගැටළු විසදීම වඩා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන අතර එම ක්‍රියාවලිය සියයට 45 ක පමණ සිට සියයට 70 පමණ දක්වා වර්ධනය වීම සතුටට කරුණක් බවත් මෙම සමථකරණ ක්‍රියාවලිය නඩු ඇසීමේ ක්‍රමවේදයට වඩා දෙපාර්ශවයේම එකඟතාවයකට අනුව ගැටළු විසඳාගැනීමේ ක්‍රමවේදයක් බවද අමාත්‍යවරයා විසින් පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ අධීකරණ ක්‍රියාවලිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍යකරන ඕනැම සහයෝගයක් ලබාදීමට සූදානම් ජර්මානු තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන තත්වය සහ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත්වීම සතුටු දායක බවත්, ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර දිගු කාලීන සබදතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කල තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් සහයෝගය ලබාදීමට තමන් කැපවී සිටින බවත් ජර්මානු තානාපතිවරයා විසින් සඳහන් කරන ලදී.

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය නියමිත කාලවලදී පැවැත්වෙන බවත් පළාත්සභා මැතිවරණය ද ඉන් අනතුරුව පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අධීකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත මහතා, ජර්මානු තානාපති කාර්යාලය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT