ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් කර්මාන්ත දෙලක්ෂ හැට තුන්දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේ දී වැසී ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන්ය. රටේ තත්ත්වය ඇත්තේ කෙබඳු තැනකදැ’යි දැන ගැනීම සඳහා මේ දත්තය ඉතා වැදගත්ය. කොවිඩ් කාලසීමාව හේතුවෙන් පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය, වළක්වාලිය නොහැකි තත්ත්වයක් වූයේ මුත්, එයින් ජනිත කරන ලද ආර්ථික දුර්විපාක තවමත් අප පසුපස ‘එළව එළවා හපා කමින්’ තිබෙන බව කිව හැක්කේය. රට බංකොලොත්භාවය සඳහා පත්වීම දක්වා, මේ අගාධය දරුණු වූයේ මුත්, සමහරු තවම මේ ‘ස්කන්ධයේ’සැබෑ ස්වභාවය දකින්නේ නැත. ආර්ථික අර්බුදයක් පැමිණි කල රටක් දිගටම වැඩ කළ යුත්තේය. බූලි ඔසවාගෙන ෂෙඩ් එකේ පෝලිමේ සිටි ආකාරය, ගෑස් නොමැතිව, පොඩි දරමිටි ෆුඩ් සිටියෙන් ගෙදර ගෙනැවිත්, සාලය මැද්දේ බතක් හොද්දක් හදාගෙන කෑ ආකාරය දැන් ඉතිහාසයට එක්ව ඇති බැවින්, සමහර දෙනා ඒවා වළ දමා ද අවසන්ය. ඒ සා පහසු ආකාරයෙන් ආර්ථිකය අවපතනයක් අතහැර දැමිය නොහැක්කේය. තවම අප සිටිනුයේ ඒ අර්බුදයෙන් හිස ඔසවා බලන තැන පමණය. මේ නිසා අර්බුදයේ කතාව තදින් සිතට ගෙන රටේ සියලු දෙනා වැඩේට බැසිය යුතුය. එහෙම වුණාට මී හරකා අදින්නේ මඩට සේ, තවම සමහර ඈයෝ යන්නේම රුයිතෙටය. එහෙම බකල් ගැසීම සඳහා හේතුව ‘දේශපාලන බලාපොරොත්තු’ විය හැකිය. ප්රශ්නය කුණු වූ කල්හි ඉපදෙන සාරය, සමහරුන්ගේ ආහාරය වෙයි. අප හට කුණු වූ කෑම අප්රියාව ජනිත කරන්නේය. එහෙත්, ඒ මත්තේ පොදි ගැසී, ආහාරය සපයා ගන්නා කාණ්ඩ ගණනාවකි. එවන් පිරිස් මේ මොහොතේ දී සක්‍රිය වන්නාහ.
සෞඛ්‍ය සේවක වර්ජනය සඳහා පදනම වූයේ කිසියම් කප්පාදුවක් නොවේ. ඔවුනගේ සේවා සඳහා කරන ලද මදි පුංචිකමක් ද නොවේ. වෛද්‍යවරු වෙත යම් දීමනාවක් ලබා දුන් බව සැලවීමත් සමඟ සෙසු සෞඛ්‍ය සේවකයෝ වර්ජනය අතට ගත්හ.
ඉල්ලීම් දිනා ගැනීමේ හිමිකම සම්බන්ධයෙන් දේශපාලන වපසරියේ ද පුළුල් අයිතියක් ඇති හෙයින්, ‘කොහොම කොහොම හරි ස්ට්‍රයික් කරපල්ලා’ යන්න මහත් විප්ලවකාරී මෙන්ම, ප්රගතිශීලි කර්තව්‍යයක් ලෙස තවමත් සමහරු විශ්වාස කරන්නේය. වසර හැත්තෑවකට ආසන්න කාලයක් පුරා මේ රටේ සමාජ මනසට පොම්ප කර ඇත්තේ කම්කරු සටන් වනාහි උග්‍ර මානවකාමී දෙයක් ලෙසය. ලෙයින්, දහදියෙන් දිනූ…, ආදී ලෙස පටන් ගන්නා මේ කතා, අසා සිටින්නාගේ ලේ කුපිත කර, විප්ලවීය ආශ්වාදය කුළු ගන්වන්නේය. කම්කරුවා වනාහි පරම පූජනීය සහ පීඩනයට පත්වූ අයෙක් බව සමාජයේ හිස මුදුනටම එන්නේ මේ ආදී ශෘංගාරාත්මක ප්රවේශයන් ඔස්සේය. පෞද්ගලික අංශයේ කම්කරුවා වෙත එහෙම කරුණාවක් ලැබෙන්නේ නම්, කම් නැත. ඒ තරම් සූරාකෑමකට, හේ ලක්වන්නේය. එහෙත්, රාජ්‍ය අංශයේ සේවකයා වූ කලී, හැම අතින්ම ආරක්ෂිතයෙකි. වසරක් පාසා පඩි වැඩි වන්නේය. ඡන්දයක් කිට්ටු වෙන වාරයක් පාසා, දීමනා ආදිය සමඟ පඩි වැඩි වන්නේය. දහදුක් විඳීම් ආදිය අඩුය. නිවාඩු සහ අනෙකුත් දීමනා, අටෝරාශියක් ලැබෙන්නේය. සේවය සඳහා විශාල පිරිසක් සිටින හෙයින් පීඩනය අඩුය. සේවා රැකවරණය ඉහළය. මේ කිසිවක් පුද්ගලික අංශයේ සේවකයා වෙත නැත. එසේ වුවත් එම අංශයේ වැඩ වර්ජන ආදිය ද නැත.
රජයේ රැකියා කරන යමෙක් වෙත ඇත්තේ පළමුව සේවාව යන ආස්ථානය වේ. මෙය සෞඛ්‍ය යන ආස්ථානයේ සිට බැලිය හැක්කේය.
රෝගී සත්කාරය යනු සෞඛ්‍ය වෘත්තිකයන් විසින් පිරිනමනු ලබන සේවාවන් හරහා රෝග වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ කළමනාකරණය කිරීම සහ ශාරීරික හා මානසික යහපැවැත්ම ආරක්ෂා කිරීමයි. මෙය අනුකම්පාවෙන් ලබා දෙන සේවාවක් නොව රෝගීන් සතු පූර්ණ මානව හිමිකමක් ලබා දීමය. එය ඇත්තේ සියල්ලටම ඉහළින්ය. එය කිසිදු විටක කඩ කළ නොහැක්කේය. සෞඛ්‍ය සේවාව පිහිටුවා ඇත්තේම, ඒ වෙනුවෙන්ය. මේ අනුල්ලංඝනීය මානව හිමිකම වෙනුවෙන් සෞඛ්‍ය සේවාව පෙළගැසිය යුත්තේය. එය කිසිදු ආකාරයකින් කැළැල් කිරීමක් එම සේවයේ යෙදෙන අයකුට කළ නොහැක්කේය. උදාහරණය සඳහා වෘත්තීය අයිතිවාසිකම් ගනිමු. එවැනි දෙයක් උදෙසා ගත හැකි ක්‍රියාමාර්ගය ඇත්තේ, රෝගී සත්කාරය හැරපියා හෝ එය උකසට තබා සිදු කරනා තැනක නොවේ. එය ඉටු කරමින්, තමන්ට අනන්‍ය වූ මාර්ගයක එම සේවාවේ, වෘත්තීය අයිතිවාසිකම් මාර්ගය සකස් විය යුත්තේය.
වැඩ තහනමට ලක් කර ඇති විදුලි සේවකයින් සංඛ්‍යාව මේ වන විට 66 දක්වා ඉහළ ගොස් තිබේ.
විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙත කිසිවිටක එම සේවාව බිල්ලට දමා සිය අයිතිවාසිකම් සඳහා පිටියට පිවිසීමට නොහැක්කේය. ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බවට විදුලිය පත්ව තිබෙන හෙයින්, එය දෙවැනි තැනට දමා කිසිවකුට කටයුතු කළ නොහැකිය. මේ ආකාරයට අප රාජ්‍ය සේවය දැකිය යුත්තෝ වෙමු. ආණ්ඩුවේ කන්තෝරුවල ලොක්කෝ සිටිය නොහැක. “ අර සර් ගාවට ගිහින් මේක අත්සන් කරන් එන්න. ” යැයි පැමිණෙන කෙනා වෙත කවුරුන් හෝ කියා සිටී නම් එතැන් පටන්ම වැරදිය. සර් හෝ මැඩම් වන්නේ, වැඩේ කරගන්නට එන ජනී ජනයා මිස, ඒ මිනිසුන්ගේ සේවය වෙනුවෙන්, ඒ ජනතාවගේ බදු මුදල් ලබාගෙන සේවය කරන්නා නොවේ. එහෙම බලන විට ගෙදර වැඩට ඉන්න එකාට, හාම්පුතා මැඩම් කියා ඇමතිය යුතුය. මේ නිසා කිසිදු රාජ්‍ය ආයතනයක ‘සර්ලා, මැඩම්ලා’ නැත. ඇත්තේ මහත්ම මහත්මීන්ය. ඒ තත්ත්වය මදි නම්, රස්සාවෙන් අස්වී එහෙම ආමන්ත්‍රණය කරනා, වෙනත් රැකියාවක් සොයාගත හැක්කේය. ආණ්ඩුවේ කන්තෝරුවල සිටිනා ‘සික්කාගේ’ සිට සියලු දෙනා ‘හරිම වසය’. ඉන්නෙම කේන්තියෙනි. සිනහාවක් ගෑවී නැත. උන් සිනහා වෙන බව අප දන්නේ, ඇතුළේ එකිනෙකා හා කොක් හඬ දී සිනාසෙන කල්හිය. මේ ආකාරය, දැන් වෙනස් කළ යුත්තේය.
ලංවිම විරෝධතාවයක දී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට මුදල් ගෙවීමට බාධා කළ මුදල් භාරකරුවන් 15 දෙනකුගේ සේවය විදුලිබල මණ්ඩලය අත්හිටවූවේය. ඒවා නියම වැඩය. රාජ්‍ය සේවාව වනාහි ජනතාව මූලික කොට ගෙන ඇත්තකි. අප පළමුව එය තහවුරු කළ යුතුය. ස්ට්‍රයික් ආදිය ඉදිරියට ගෙන එය පළුදු කරනා ඕනෑම අයකුට එරෙහිව ‘වැඩ තහනම’ හොඳම අවිය බව මේ තීරුවේ මතය වේ.