කටුගස්තොට පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පිරිසක් විසින් මත්පෙති 600ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරින් විසින් කටුගස්තොට නගරයේ සිදුකළ වාහන පරීක්ෂාවකදී එසේ පරීක්ෂාවට ලක්කළ වාහනයක සැක කටයුතු අන්දමින් හැසිරුණු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන පරීක්ෂාවට ලක් කිරීමේදි ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් කිහිපයක් හමුවී ඇත. පසුව පොලිස් නිලධාරින් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් තොරතුරු මත කටුගස්තොට ප්‍රදේශයේ නිවෙසක් පරීක්ෂාවට ලක් කිරීමේදි මෙතන්ෆිටමයින් නමැති මත්පෙති සමඟ ජාවාරම්කරුවා කොටුකර ගැනීමට හැකිව තිබේ. මත්පෙතිවලට අමතරව මෙම ජාවාරම්කරුවා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 15ක්, හෑෂ් පැකට් 05ක් මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ සහ විදේශීය රටක නිපදවූ දුම්වැටිද සොයා ගෙන ඇත. 23 හැවිරිදි වියේ පසුවන මෙම ජාවාරම්කරුවා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.
කටුගස්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. රණවීර, පො.සැ.(29366) විජිත, පො.කො.(85145) අබේකෝන් ඇතුළු පිරිසක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.