ජපානයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ජූඩෝ තරගාවලිය සඳහා යෑමට සූදානම්ව සිටි ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ දහම් ඉඳුවර අත්තනායක ශිෂ්‍යයාට එම පාසලේම සිසුන් පිරිසක් පහර දීම නිසා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීම මාධ්‍යයේ පළවීමෙන් එහි විදුහල්පතිනි කෝකිලා එදිරිසිංහ මහත්මියට අගෞරවයක් සිදුවුණා යැයි පවසා එය වාර්තා කළ මාධ්‍යවේදින් ගම්පොළ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා ඇත.
මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීමකට ගම්පොළ පොලිසිය වෙත කැඳවන බව එම නිලධාරීන් පවසා ඇත.
මෙම පහර දීම පිළිබඳව දහය වසර පන්තියේ ඉගෙනුම ලබන එම සිසුවා පරීක්‍ෂණ පැවැත්වූ ඇත්ගාල පොලිසිය වෙත පැමිණිලි කර තිබුණේ පාසලේ පන්ති දෙකක සිසුන් විසිදෙනකුට අධික ප්‍රමාණයක් තමාට පහර දුන් බවයි.
ජාත්‍යන්තර තරගාවලියකට යාමට සිටි තම පුතුට පහරදී දින දෙකක් රෝහල්ගතව සිටියත් පාසල තුළින් එයට සාධාරණයක් නොවූ බව පවසා මෙම සිසුවාගේ ඥාතීන් හා මව මාධ්‍ය වෙත මෙසේ කරුණු ලබාදුන් අතර පසුව පාසලේ බලපෑම මත මව එයින් බේරීමට ලිපියක් ලියා දී එම කරුණු නොදුන් බව පවසා ඇත.
කෙසේ වෙතත් මේ ආකාරයට ජාතික මට්ටමේ ක්‍රීඩකයකුට පහරදීම හා ඔහු ආරක්ෂා කර නොගැනීම මෙන්ම බාලවයස්කරුවෙකුට මෙසේ පහර දීම පිළිබඳව විදුහල්පතිනියගෙන් කරුණු විමසීමට මාධ්‍ය උත්සාහ කළ ද ඇය ජංගම හා ස්ථාවර දුරකතනවලට ප්‍රතිචාර නොදැක්විය.
පසුව පාසලේ විනය භාර හා ජූඩෝ පුහුණුකරු නාමල් රාජසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ එය සුළු සිද්ධියක් බවයි. ජාතික මට්ටමේ පාසල් ක්‍රීඩකයෙකුට විසිදෙනෙකු පහර දී රෝහල්ගත කිරීම සුළු සිද්ධියක් ලෙස පැවසූ ඔහු මාධ්‍යයට ද බැණ වැදුණේය.
මෙම සිසුවාට පහර දුන් අනෙකුත් සිසුන්ගෙන් ගම්පොළ ඇත්ගාල පොලිසිය ප්‍රකාශ ද ලබාගෙන ඇති අතර ඒ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් ද සිදු කර තිබුණි.
කෙසේ වෙතත් මේ පිළිබඳව ගම්පොළ මාධ්‍ය සංගමයේ සභාපති සුරංග රාජනායක මහතා ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක මහතා වෙත දැනුම් දෙමින් සඳහන් කර ඇත්තේ ගම්පොළ පොලිසියේ පැමිණිල්ලක් නොමැතිව මේ ලෙස මාධ්‍යවේදීන් පොලිසිය වෙත කැඳවා ඇති බවය.
ලෝක ජූඩෝ සංගමය මගින් මෙරට ක්‍රීඩකයන් හට ප්‍රදානය කිරීමට ලබා දුන් ජූඩෝ ක්‍රීඩා ඇඳුම් මෙම පුහුණුකරුවන් විසින් ළමුන්ට විකිණීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජූඩෝ සංගමය ගම්පොල පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකොට මාස හයක් පමණ ගත වුවද ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු නොකර සත්‍ය සිදුවීමක් පළකිරීම පිළිබඳව මාසයක් තුළ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම පිළිබඳව ද පොලිස් අධිකාරිවරයා හට දන්වා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළා යැයි කියන පැමිණිල්ලකට ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට කැඳවීම පිළිබඳව එහි ස්ථානාධිපති කුමුදු කුමාර මනෝදරගෙදර මහතාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ පොලිස්පති කාර්යාලයෙන් මේ පිළිබඳව විමසා ඇති බවය.