නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබා ගැනීම එළඹෙන ජුනි මාසය ඇතුළත සිදු කිරීමට නියමිත බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසීය.
ඊයේ (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු සම්පූර්ණයෙන්ම මේ වන විට අවසන් කර තිබෙන බවත් එයට අදාළ යටිතල පහසුකම් සකස් කරමින් යන බව ද හෙතෙම කියා සිටියේය.
එළඹෙන ජුනි මාසය ඇතුළත පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සලකුණු සහ Facial recognition වලට අදාළ දත්ත එකතු කිරීම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආරම්භ කරන බව ද ඒ මහතා පැවසීය. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පළාත් කාර්යාල දෙකක් පෙබරවාරි මස කුරුණෑගල සහ නුවරඑළියේ ස්ථාපිත කරන බවත් ඒ තුළින් එක්දින සේවා ලබා දීම සිදු කරන බවත් හෙතෙම කියා සිටියේය.