Home » විශ්‍රාමික DIGගේ බිරියගෙන් පොලිසිය ප්‍රකාශයක් ගනී
අවලෝකිතේශ්වරට නවාතැන් සැපයූ

විශ්‍රාමික DIGගේ බිරියගෙන් පොලිසිය ප්‍රකාශයක් ගනී

නිවෙසට මාස 6ට රු. 240,000ක්

by mahesh
January 19, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් බවට හඳුන්වා ගනිමින් බුද්ධාගමට අපහාස කරමින් විකෘති දේශනා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුට නවාතැන් පහසුකම් සැලසීමට කටයුතු කළ බවට අනාවරණය වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරියක් පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගත් බව කැස්බෑව පොලිසිය කියයි.

ඊට අමතරව ඇයට එම නිවෙස ලබා ගැනීමට උදවු උපකාර කළ ත්‍රිරෝද රථ රියැදුරකු මෙන්ම බෝකර්වරයකුගෙන් ද ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඉකුත් (15) වැනි දින පන්නිපිටිය ප්‍රදේශයේදී සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී කැස්බෑව බටුවන්දර සර්වෝදය මාවතේ දෙමහල් සුඛෝපභෝගි නිවෙසක නවාතැන් ගෙන සිටින බවට අනාවරණය විය. සුදර්ශනී කරුණාරත්න නමින් හඳුන්වන 58 හැවිරිදි එම කාන්තාව ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇත්තේ බණ ගෙදරකදී හඳුනාගත් ඉරේෂා නමින් මිතුරියක් මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බවත් ඇගේ ඉල්ලීම මත සැකකරුට නිවෙස සොයා දුන් බවත්ය. මිතුරිය ඇයට පවසා ඇත්තේ ධර්ම දේශනා කරන කෙනකු ලංකාවට එනවා, එයාට භාවනා කිරීම සඳහා මාස හයක පමණ කාලයකට සුවපහසු තැනක් සොයා දෙන ලෙසටය.

එම කාන්තාව ද මෙම සැකකරුට වරින් වර බෝධිසත්ත්වයන් ලෙස හඳුන්වමින් ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඇගේ වචනවලින් ඇය ද මෙම සැකකරුගේ සමීප අනුගාමිකයකු ලෙස කටයුතු කරන්නියක බවට සැක කළ හැකි යැයි පොලිසිය සඳහන් කරයි. ඒ අනුව තමන් කුලී ගමන් යන ත්‍රිරෝද රථ රියැදුරු මාර්ගයෙන් මාසිකව රුපියල් 40,000/= බැගින් මාස හයකට රුපියල් දෙලක්ෂ හතළිස්දහසක මුදලක් නිවෙස් හිමි වෛද්‍යවරයා වෙත ලබා දුන් බවත් බෝකර් ගාස්තු ලෙස ත්‍රිරෝද රථ රියැදුරු වෙත රුපියල් 25000/=ක් හා අනෙක් පුද්ගලයා වෙත රුපියල් 15000/=ක් ලබා දුන් බවත් අනාවරණය වී ඇත.

මේ සියලු මුදල් ඔස්ට්‍රේලියාවේ සිටින මිතුරිය තමන් වෙත එවූ බවත් සැකකරු වන බෝධිසත්ත්වයන්ට තුන් වේලටම සාමාන්‍ය පුද්ගලයන්ට සපයන ආහාරවලින් දානය සැපයූ බවත් ඇය ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා එම කාන්තාවගේ මීට වසර කීපයකට පෙර නීත්‍යනුකූලව වෙන්ව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ (කාන්තා) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් මත කාන්තා පොලිස් පරීක්ෂක නදීකා දිසානායක මහත්මිය ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT