Home » ශානිට STF ආරක්ෂාව දීමට ඇති හැකියාව ගැන සොයා බලන්න

ශානිට STF ආරක්ෂාව දීමට ඇති හැකියාව ගැන සොයා බලන්න

අභියාචනාධිකරණය නීතිපතිට දන්වයි

by mahesh
January 19, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට ඊයේ (18) නියම කළේය.

තමන්ට නිසි ලෙස ආරක්ෂාව ලබා නොදීමට එරෙහිව ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය විසින් මෙම නියෝගය කරන ලදි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ශෂී මහේන්ද්‍ර යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවීය.

ඔහුගේ ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පොලිස් නිලධාරීන් හතර දෙනා වෙනුවට එම සංඛ්‍යාව දෙගුණ කර පොලිස් නිලධාරීන් අට දෙනකුගේ ආරක්ෂාව ලබා දීමට කටයුතු ඇති කර ඇති බවද අතිරේක ජනරාල්වරයා සඳහන් කළේය. එසේම ඔහුගේ ආරක්ෂාව සඳහා යතුරුපැදියක්ද ලබා දී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

ශානි අබේසේකර මහතා මහමඟදී රිය අනතුරකට ලක්කර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට අදාළ අධිකාරිය විසින්ම සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා සඳහන් කළේ ඔහුට එතරම් ජීවිත තර්ජනයක් තිබේ නම් අනවශ්‍ය ලෙස ගමන් යෑමෙන් වැළකී නිවෙසට වී සිටිය යුතු බවය.

එහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ශානි අබේසේකර මහතා මෙරට නිදහස් පුද්ගලයකු බවත් ඔහු නිවාස අඩස්සියට වී සිටිය යුතු නැති බවත්ය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසා සිටියේ දෙවැනි ආරක්ෂකයාගේ වාර්තාව ලබා ගැනීමට ඇගැයීම් සිදු කළේ කවුරුන් විසින් ද යන්නය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත රාජ්‍ය බුද්ධි සේවය මඟින් එම ඇගැයීම සිදුකළ බව එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

පෙත්සම්කාර ශානි අබේසේකර මහතා මෙරට ප්‍රමුඛතම අපරාධ ගණනාවක් විසඳීමට කටයුතු කළ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියකු බවත් ඔහුගේ ජීවිතයට විවිධාකාරයෙන් තර්ජන ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඔහුගේ පෞද්ගලික ගිනි අවිය සම්බන්ධයෙන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මේ වන තෙක් එය ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර නැති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. එබැවින් ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලෙස බව ඔහු කීය.

ඒ සම්බන්ධයෙන් තමන් උපදෙස් ලබාගත යුතු බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම්කරුට විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සැපයීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සලකා බලන ලෙස නීතිපතිවරයාට නියම කළේය.

ඒ සම්බන්ධයෙන් වන ප්‍රගතිය විමර්ශනය කිරීම සඳහා මෙම පෙත්සම පෙබරවාරි මස 21 වැනිදා කැඳවීමට නියම කෙරිණ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

වින්දිතයන් සුරැකීමේ අධිකාරිය, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT