ගණිකා වෘත්තිය නීතිගත කිරීමට සැරසෙන අයගේ අරමුණ මේ රටේ සංස්කෘතිය, සාරධර්ම හා ආධ්‍යාත්මික ගුණවගාව විනාශ කරදැමීමදැයි මහාසංඝරත්නය ඇතුළු විද්වත්හු ප්‍රශ්න කරති. ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව එහි විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔවුහු මෙසේ අදහස් පළ කළහ.
අමරපුර මහා සංඝ සභාවේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය ලේඛකාධිකාරි, බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද නාහිමි:
“ගණිකා ව්‍යාපාරය නීතිගත කරන්න කතා කරන ජාතික ජන බලවේගය බලයට පැමිණිය හොත් මෙරට සංස්කෘතියට සිදු වන හානිය පිළිබඳ සිතා ගැනීමටවත් නොහැකියි. බෞද්ධාගමික පරිසරයක් තුළ ගොඩනැඟුණු සංස්කෘතියටත් සාදාචාරයටත් පහර ගසමින් මොන ආකාරයේ දියුණුයක් ලැබුවත් ඉන් පලක් වන්නේ නැහැ.
“පන්සිල්වලින් තෙවැනි සිල් පදය මඟින් කාමයේ වරදවා හැසිරීම පරිහානියට හේතුවක් බව බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ජාතික ජන බලවේගය උත්සහ කරන්නේ මේ පන්සිල් රකින සමාජය බිඳදැමීමටයි.
“ගණිකා වෘත්තිය නීතිගත නොවුණත් රටේ ක්‍රියාත්මක බව සත්‍යයක් වුවත්, එය නීතිගත කිරීමෙන් ඊට ලැබෙන නීතිමය අවාරණය තුළ බරපතළ සමාජ ගැටලු ඇති වීමේ දැඩි අවදානමක් පවතිනවා. ඒ ඔස්සේ ශ්‍රී ලාංකික පවුල් සංස්ථාව බිඳවැටීමේ අවදානමක් පවතිනවා. මේ අවස්ථාවේ ජාතික ජන බලවේගය කළ යුත්තේ ආර්ථිකය ගොඩනැඟීමට ගන්නා ක්‍රියාමාර්ග මිස සංස්කෘතිය වළපල්ලට ගෙන යන තීරණ සමාජගත කිරීම නොවෙයි.”
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලිය කුලරත්න මහතා:
“ආගමික පසුබිමක ගොඩනැඟුණු සංස්කෘතික පදනමක හැදීවැඩුණු ශ්‍රී ලාංකික ජනතාවගේ සාරධර්ම හා ආධ්‍යාත්මක ගුණ දහම් ගණිකා වෘත්තිය නීතිගත කිරීම තුළ විනාශ විය හැකියි. නීත්‍යනුකූල නොවන අයුරින් හොර රහසේ සිදු වන දේ එළිපිට කිරීමට අවසර දීම බුද්ධිගෝචර වන්නේ නැහැ. මේ ඔස්සේ ගණිකා ව්‍යාපාරය හා සම්බන්ධ පාඨමාලා පවා ආරම්භ වීමට ඉඩ තිබෙනවා.
සමාජ පිළිගැනීමට ලක් නොවන වෘත්තියක් නීතිගත කිරීමෙන් ඒවා කෙරෙහි යොමු වීමට යම් පෙලඹවීමක් ඇති වෙනවා. මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුද සමඟ කාන්තාවන් තම පවුල හා දරුවන් පවා අමතක කර ගණිකා වෘත්තියට යොමු වීමට මෙයින් ඉඩක් නිර්මාණය වෙනවා.
රටක් ලෙස අප ගොඩනැඟිය යුතු වන්නේ සංස්කෘතිය හා සමාජ ආචාරධර්ම ආරක්ෂා කරගනිමිනුයි. කොතරම් ආර්ථික අතින් ශක්තිමත් වුවත් සමාජය තුළ පරිහානයක් සිදු වේ නම් ඒ ආර්ථික ශක්තිමත් බවින් පලක් නැහැ.”
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය දයා අමරසේකර මහතා:
“ශ්‍රී ලාංකික ජන සමාජය සාරධර්ම හා අගනාකම්වලින් පිරිපුන් එකක්. ගණිකා වෘත්තිය නීතිගත කිරීම වැනි මාතෘකා කරළියට ගෙන එමින් ජාතික ජන බලවේගය උත්සාහ කරන්නේ ඊට පහර ගැසීමද යන්න අපට ප්‍රශ්නයක්. සියලු ප්‍රශ්න දෙස දේශපාලන කෝණයෙන් නොබැලිය යුතුයි. සමාජය තුළ අන්තර්ගත සාරධර්ම හා වටිනාකම් අනුසාරයෙන් දැකීමට දේශපාලනඥයන් පුරුදු පුහුණු විය යුතුයි.
“සංස්කෘතිය ලෙස අප විසින් හඳුනාගනු ලබන්නේ ඒ වටිනාකම් මතු වන හැසිරීමේ එක් පැතිකඩක්. ගණිකා වෘත්තිය විවිධ මුහුණුවරින් අද සමාජය තුළ දක්නට ලැබෙනවා. එය නීතිගත කිරීමෙන් පවුල් ඒකකය බිඳවැටීම වැනි ව්‍යසන කරා සමාජය තල්ලු විය හැකියි. පවුල් සංස්ථාව බිඳවැටී දරුවන් නොයෙකුත් අපචාරවලට ගොදුරු වන සමයක මෙවැනි ප්‍රකාශ කිරීම පිළිබඳ සුපරීක්ෂාකාරි විය යුතුයි.
“ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් ලිංගාශ්‍රිත කර්මාන්ත විවිධ මුහුණුවරින් සමාජගත වීමේ අවදානමක් මතු වනවා.
සමාජ තුළ පවතින ලජ්ජා භය යන සංකල්ප මෙන්ම කාන්තා පිළිගැනීම, මාතෘත්වය වැනි ආකල්ප හෑල්ලුවට ලක් වනවා.
මේ ප්‍රකාශය මතුපිටින් දැක සැහැල්ලුවට නොගත යුතුයි. මෙමඟින් සිදු වන සමජ ව්‍යසනය බරපතළ විය හැකියි.