Home » සියයට 18 බදු ප්‍රතිශතය 15% දක්වා අඩු කළ හැකියි

සියයට 18 බදු ප්‍රතිශතය 15% දක්වා අඩු කළ හැකියි

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

by mahesh
January 19, 2024 1:00 am 0 comment

පානදුර සරසවි පොත්හල විවෘත කරමින් ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සභාව ඇමතූ අයුරු. මේ අවස්ථාවට සරසවි සමූහ ව්‍යාපාරයේ අධිපති එච්.‍ ඩී ප්‍රේමසිරි මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් එක්ව සිටියහ.

සිනමාවට මෙන්ම පොත්පත්වලටත් වැඩි පරිශීලනයක් අවශ්‍ය නම් විසඳුම ඩිජිටල්කරණයයි
– ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ

අප සියලු දෙනාම සහ සෑම ව්‍යාපාරිකයෙක් විසින්ම කුඩාවට හෝ වැට් ගෙව්වොත් සියයට 18ක වැට් බද්දේ බර සියයට 15 දක්වා යළි අඩු කිරීමට හැකි බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

පාණදුර නගරයේදී සරසවි පොත් මැදුර නව ශාඛාව ඊයේ (18) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සියලු දෙනාම බදු ගෙවනවා නම් අය කරන බදු ප්‍රතිශතය අඩුවෙන බවත් එතකොට මෙම අර්බුදය විසඳෙන බවත් හෙතෙම කීවේය.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ගැන පොත්පත් ලියන්න, සාකච්ඡා කරන්න ඕන විද්වතුන් අතර දේශපාලන නොවන ආර්ථික විද්‍යාත්මක සංවාදයක් ඇතිවිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.

1973 වර්ෂයේ ආරම්භ කර ඇති සරසවි සමූහ ව්‍යාපාරයේ 30 වන ශාඛාව මෙය වේ.

විෂය භාර ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ දීප්තිමත්, කීර්තිමත් ආදිෂ්‍යයෙක් තමයි ප්‍රේමසිරි මහත්මා. මධ්‍ය විද්‍යාල පරම්පරාවේ ඇතමෙක් අපේ රට තුළ විවිධ ක්ෂේත්‍රවල ප්‍රතිභා, ප්‍රභා සහිත යම්කිසි වටිනාකමක් ජාතියට එකතු කරලා තියෙනවා. ව්‍යාපාර ක්ෂේත්‍රයේ පුංචිම තැනින් ආරම්භ කරලා අනේක විධ දුක් දොම්නස්සයන්ට මුහුණ දෙමින් විවිධ අපහාස උපහාසවලට මුහුණ දෙමින් සාර්ථක ව්‍යාපාරික ගමනක් ගිහිල්ලා ජාතික අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරන්න ව්‍යවසායකයෙක් ලෙස එතුමා දක්වපු මෙහෙවරට අපි ගරු කරනවා.

මෙතෙක් කලයක් තිබුණේ නෑ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ පොත්පත්වලට වැට් බද්දක්. අලුතෙන් 18%ක වැට් බද්දක් පැනෙව්වා කිව්වම මාධ්‍යයේ ප්‍රචාරණය කෙරෙන ආකාරයට ඒක විශාල පීඩනයක් ඇතිවෙන දෙයක් ලෙස නම් කරනවා. අගයානුකූල බද්ද එනම් වැට් බද්ද මීට පෙර පසුගිය රජය යටතේ 15%ක්ව තිබුණා. නමුත් ඒ අවස්ථාවේදී නිදහස් භාණ්ඩ ලැයිස්තුවේ තමයි පොත්පත් තිබුණේ. අදත් සහල්, එළවළු, පලතුරු, තේ දළු වැනි ප්‍රාථමික තත්ත්වයේ භාණ්ඩවලට වැට් බද්දක් නැහැ. අගයානුකූල බද්දේ අර්ථය තමයි එකතු කරන අගයක් තිබුණොත් පමණයි බදු බැඳියාවට යටත් වන්නේ.

පොත්වලට 18%ක වැට් බද්දක් අය කරන්නේ පොත් මිලදී ගැනීමේදී යෙදවුම් පිරිවැය අඩු කර ලැබෙන මුදලට පමණයි වැට් බද්ද ගෙවන්න වෙන්නේ. නමුත් තියෙන ප්‍රශ්නය පොත්පත්වලට වැට් බදු අය කළාම බද්ධට යටත් වන සීමාව වෙන්නෙ මිලියන 60 වඩා වැඩි නම් තමයි බදු බැඳියාව ඇතිවෙලා තියෙන්නෙ ඒ නිසා විශාල පරිමාණයේ පොත් ප්‍රකාශන දහ පහළොස් දෙනෙක් තමයි වැට් බද්දට යටත් වෙන්නේ. බහුතරයක් පොත් සාප්පු හිමියන් වැට් බද්දෙන් නිදහස් වෙනවා. මේ තත්ත්වය අපි අදාළ ක්ෂේත්‍රවලට පැහැදිළි කර තියෙනවා. වැට් බද්දේ බර අඩු කරන්න පුළුවන් එකම ක්‍රමය අපි සියලු දෙනා, සෑම ව්‍යාපාරිකයෙක් විසින්ම කුඩා හෝ එකතු කළ අගයට බද්දක් ගෙව්වොත් පමණයි. ඔක්කොම බදු ගෙවනවා නම් ඒ අය කරන බදු ප්‍රතිශතය අඩුවෙනවා. එතකොට මේ අර්බුදය විසඳෙනවා. අපේ රටේ විගණකාධිපතිගේ වාර්තාවට අනුව 2022 වර්ෂයේ ලංකාවේ ආණ්ඩුව ඍජු හා වක්‍ර බදුවලින් එකතු කරලා තියෙන මුළු ආදායම මිලියන 1751යි. එයින් මිලියන 1965ක් එනම් 72%ක් වැය වී ඇත්තේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහායි. රාජ්‍ය සේවකයන් නොවූවත් සියලු දෙනා රාජ්‍ය සේවකයින්ට බිලියන 1265ක් ගෙවීම සඳහා බදු ගෙවා තියෙනවා. මේ ලෝකයේ කිසිම රටක එකතුවන බදු ආදායමෙන් 72%ක් ඒ රටේ ඉන්න රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට වෙන් කරන රටක් මගේ දැනීම තුළ නැහැ. බිලියන 1751න් බිලියන 506ක් සමෘද්ධි ඇතුළු දිළිඳු අයට සහනාධාර සඳහා වැයවෙනවා එය බදු ආදායමෙන් 28%ක්. 2022 වර්ෂයේ මුළු බදු ආදායම ඒ දෙක ගෙව්වාම ඉවරයි. ඒ අවුරුද්දේ රාජ්‍ය ණය සඳහා පොලී ගෙවලා තියෙනවා බිලියන 1565ක්, විදුලිය මංමාවත් වගේ ඒවට ප්‍රාග්ධන වියදම බිලියන 715ක් ඒ ඔක්කොම කරලා තියෙන්නේ ණයට අරගෙන. කවුරු ආණ්ඩු කෙරුවත් කවුරු ජනාධිපති වුණත් නිදහසින් පස්සේ ලංකා ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇතිවෙලා තියෙන්නෙ පස් සැරයක් පමණයි. අනිත් හැම අවුරුද්දේම ආණ්ඩුව එදිනෙදා පවත්වාගෙන යාමේදී දරනු ලබන පුනරාවර්තන වියදම් පියවා ගන්න ප්‍රමාණවත් ආදායමක් කාගෙවත් ආණ්ඩුවකට තිබිලා නැහැ. සෑම ආණ්ඩුවක්ම පාරවල්, පාලම්, ඇනිකට්, පාසල් හදලා තියෙන්නෙ, දුම්රිය පීලි අරගෙන තියෙන්නෙ, දුම්රිය එන්ජින්, මැදිරි අරගෙන තියෙන්නේ ණයට මේ ණයගොඩ එකතු වෙලා එකතු වෙලා ණය මදිවෙච්චාම සල්ලි අච්චු ගහලා තියෙනවා. දැන් ගත්ත ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා සල්ලි අච්චු ගහන එක තහනම් කරලා තියෙනවා. දැන් කිසි රටක් ණයට දෙන්නේ නැහැ. ඒ නිසා අපි කැමැති වුණත් අකමැති වුණත් ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් රටක් වශයෙන් ගෙවන්නෙ. ඇතිකරගෙන තියෙන එකඟතාවයන්ට අනුව 2028 වන කොටත් විදේශ සම්පත්වල පරතරයක් ඇතිවෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 3911ක. 2027 වර්ෂය වන විට අපේ විදේශ වත්කම් ප්‍රමාණය බිලියන 14 දක්වා වැඩි විය යුතුයි. ඒ නිසා මේ අනතුර පිළිබඳ පොත් ලියන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, විද්වතුන් අතර දේශපාලන නොවන ආර්ථික විද්‍යාත්මක සංවාදයක් ඇතිවිය යුතුයි. එම නිසා මම ප්‍රේමසිරි මහතාට පොතක් ලියලා දුන්නා සියලු සංඛ්‍යා දත්ත ඇතුළත් කරලා ආර්ථික විද්‍යා හෝරාවක් කියලා. අපි අන්තර් ජාතිකව ඇති කරලා තිබෙන ගිවිසුම් ටික පිළිබඳව. ඒ පොත අලෙවි කර ගැනීම සඳහා ආධාරකයක් වෙන නිසා සරසවි පොත්හල් රටපුරා වැඩි වැඩියෙන් ඇති කරන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අනගාරික ධර්මපාලතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. මම මුදල් විශුද්ධිකරණය පොතේ උපහාරයක් ලෙස එතුමගේ වැකි දෙකක් ඇතුළත් කළා. ‘‘අපේ ජාතිය ගලවා ගැනීමේ ඒකායන මාර්ගය අධ්‍යාපනයයි. ලංකාවේ ඇත්තේ අවජාතක අධ්‍යාපන ක්‍රමයකි. සිංහල තරුණයන්, ඇමරිකාව, ජපානය, ජර්මනිය, ඉන්දියාව, හොංකොං, ප්‍රංශය සහ එංගලන්තයට ශිෂ්‍යත්ව දී යවා තාක්ෂණය, විද්‍යාව, කෘෂිකර්මය, වාරිකර්මාන්තය ආදී නව විෂයන් ගැන දැනුමක් ලබාගෙන ආපසු ලංකාවට ගෙන්වා ගෙන ජාතිය ගොඩනැඟීමේ කාර්යය ආරම්භ කළ යුතුය. දියුණු වීමට නම් ස්වයංපෝෂිතවීමට නම් විදේශීය භාණ්ඩ පරිහරණයෙන් හා පරිභෝජනයෙන් වැලැකී සිටිය යුතුය. රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම භාණ්ඩයක්ම නිපදවිය යුතුය. පරිහරණය කළ යුතුය. රට තුළ කර්මාන්ත නැවත ආරම්භ කිරීම තුළින් ධනය හා රැකියා උත්පාදනය කළ හැකිය. ධනය උත්පාදනය, සංසරණය හා හුවමාරු කිරීම් පිළිබඳ මූලික සිද්ධාන්ත ගැන අවබෝධයක් ලබා දිය යුතුය. ස්වභාවික සම්පත්, විශේෂයෙන්ම වන සම්පත් රැක ගැනීමට හා ඒවා වැඩි දියුණු කිරීමට ක්‍රම හා විධි ඇති කළ යුතුය. දක්ෂ, විශේෂඥ දැනුම ඇති පරිපාලන නිලධාරීන් පමණක් උසස් තනතුරුවලට පත්කළ යුතුය. ධර්මපාලතුමා එදා කියපු ටික අද කරලා තිබුණ නම් අද රට මේ තැනට වැටෙන්නේ නැහැ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා.

30 වැනි සරසවි පොත්හල පානදුරේ ස්ථාපිත කිරීම ගැන ප්‍රේමසිරි මහතාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා. නමුත් බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා අනාගාරික ධර්මපාලතුමා ගැන උපුටා දැක්වීමක් කළ නිසා මමත් උපුටා දැක්වීමත් නොකොළොත් ඒක අඩුවක්. පාණදුර නගරයේ විසූ අපේ රටේ බිහිවූ සුවිශේෂ පඬිරුවනක් වන කුමාරතුංග මුනිදාසයන් පැවැසූ අදහසක් කියන්න. එතුමාගේ ප්‍රබන්ධෝපදේශය පොතෙන් උපුටා ගන්නේ. එතුමා කියනවා ජීවිතය පරමෝෂභාගය ස්වෛරීත්වයයි. ශ්‍රීයත්වයි. ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ දරුවන්ව නිදහසේ සිතන්න, අදීන පිරිසක් බට පත් කරන්නට පුරුදු කරන්න. මම හිතන්නේ නැහැ අපේ රටේ ඒ කාර්යය සිදුවෙනවා කියලා. පානදුරය නගරය හැඳින්වූයේ පුනරුදයේ නගරයක් විදියට. පානදුර නගරය ලංකා සම සමාජ පක්ෂයේ සහ වමේ ව්‍යාපාරයේ බලකොටුවක්. පානදුර නගරය බුද්ධිමතුන්, වියතුන් බිහි කරලා තිබෙනවා. දේශපාලන සංවාද, විවාද ඇති කළ තෝතැන්නක්. නමුත් එක්තරා කාලෙකින් පසුව පානදුර නගරය පොත් සාප්පුවක්වත් තිබුණේ නැහැ. අපි කුඩා කාලයේ පානදුර නගරයේ පොත් සාප්පු තුනක් තිබුණා. එම්.එල් පීරිස් පොත් සාප්පුව, සරස්වතී පොත් සාප්පුව සහ 1972 වගේ එම්.ඩී ගුණසේන සහ සමාගම. අපි පොත් ගන්න ගියේ කොළඹට. අද ප්‍රේමසිරි මහත්මයාගේ මැදිහත්වීම ඉතාමත් අගය කරනවා. තවදුටත් කොළඹට යන්නේ නැතුව එම පොත් මෙහිදී ලබාගන්න පුළුවන් නිසා.

බන්දුල ගුණවර්ධන මහත්මයා කියපුදේට අමතරව මම එක අදහසක් කියන්න කැමැතියි. සරසවියේ ටැග් ලයින් එකෙන් තමයි එන්න, ගැවසෙන්න. ප්‍රේමසිරි මහත්මයා තෝරගෙන තිබෙනවා වියතුන් සභා මැද ගැවසෙන්න කියලා. ඇත්තටම පොත් සාප්පු ලංකාවේ ගැවසෙන තැන් ද. නැත්නම් පොත් කඩ ද. සරසවියේ අදහස මේ පොත් සාප්පුවක් කියන්නේ තව දුරටත් පොත් ගන්න තැනක් නෙවෙයි. පොත් ගන්න පුළුවන් පිටරටක නම් අන්තර් ජාලයෙන්. තව දුරටත් පොත් සාප්පුවකට ගිහින් පොත් ගන්න අවශ්‍ය නැහැ පිටරට. ඉස්සර අපි පාසල් යන කාලේ රුහුණු කුමාරියේ වේවා, ගාලු කුමාරියේ වේවා නැග්ගම කී දෙනෙක් අතේ පොත් තියෙනවා ද.

අද කී දෙනෙක් අතේ මොකක් ද තියෙන්නේ. අද හැමෝමගේ අතේ තියෙන්නේ ජංගම දුරකතනය. ජංගම දුරකතනයෙන් ලැබෙන තොරතුරු, නැත්නම් විනෝද මාධ්‍ය බවට පත් වෙලා තිබෙනවා.වින්දන මාධ්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. පොත් ප්‍රකාශකයන්ට මේ අභියෝගයට මුහුණ දෙන්න වුණාම ඒ අය කළේ ජනතාව පරිහරණය කරන, පාඨකයා පරිහරණය කරන තැන් තෝර ගත්තා. ඒ තැන් මම විශ්වාස කරනවා ශ්‍රී ලාංකික පොත් ප්‍රකාශකයන්ටත් අනාගතයේ දී තෝරගන්න සිද්ද වෙන්න වේවි. අන්තර් ජාලයෙන්, ජංගම දුකතනයෙන්. රුහුණු කුමාරි හෝ ගාලු කුමාරි යන කෙනෙකුට පොතක් කියවීමට අවස්ථාවට තිබිය යුතුයි. මේ ඩිජිටල් ගනුදෙනුව අද ලන්ඩනයේ නිව්යෝර්ක් නගරයේ උමං දුම්රියවල දකින්න තියෙනවා. එය සුලබව දකින්න තිබෙන දෙයක්. ඒ වගේම මගේ ක්ෂේත්‍රය ගැන කිව්වොත් අපි හැමෝම කැමැති ප්‍රේක්ෂකයෝ සිනමා ශලාවල නරඹනව නම්. නමුත් අපේ රටේ වාර්ෂිකව නරඹන්නේ මිලියන 07ක් වගේ ජනතාවක්. වැඩි දෙනෙක් නරඹන්නේ වෙනත් මාධ්‍යයකින්. එය තමයි ලෝක ස්වභාවය. ඒ ලෝක ස්වභාවයට අනුගත වෙනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ. එය මම හිතන්නේ ප්‍රබන්ධ සාහිත්‍යයේ පැවැත්මට අපි මේ අලුත් මාර්ග තෝරාගත යුතුයි. ඒ මාර්ගවලට පිවිසිය යුතුයි. මේ අදහසත් අනාගතයේ සරසවි පොත් ප්‍රකාශයන් වගේම අනෙක් පොත් ප්‍රකාශකයන්ටත් ඒ අභියෝගයට මුහුණ දීල, ඒ අභියෝගයට අනුව කටයුතු කරාවි කියලා. මේ යුගයේ මානව සම්බන්ධතා ගත්තම එම මානව සම්බන්ධතා කෙටි කාලයයි. චිත්‍රපටි ක්ෂේත්‍රයේ එවැනි සම්බන්ධතා ඉතාමත් අල්පයි. චිත්‍රපටි ක්ෂේත්‍රයේ එම සම්බන්ධතා චිත්‍රපටියක් කරලා ඉවර වුණාම ඉවර වෙනවා. නමුත් මගෙත්, ප්‍රේමසිරි මහතා සහ එම පවුලේ සම්බන්ධතාවය අවුරුදු 15ක්. අපි අවුරුදු 15ක් තිස්සේ විවිධ චිත්‍රපටි කරලා තිබෙනවා.

මේ අවස්ථාවට සරසවි සමූහ ව්‍යාපාරයේ අධිපති එච්.‍ ඩී ප්‍රේමසිරි මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT