බිත්තර පිටරටින් ගෙන්වීමට සිදුවීම අවාසනාවක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පෙරේදා (17) පැවැති කුකුළු බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
පාසලේදී මෙන්ම සෞඛ්‍ය වැඩසටහන්වලදී පෝෂ්‍යදායි ආහාරයක් සඳහා බිත්තරයක් දෙන්නැයි නිර්දේශ කළ ද ඒ අතින් පසුගාමී තත්ත්වයකට මුහුණදීමට සිදු වූ නිසා බිත්තර විදේශ රටින් ගෙන්වීමට සිදුවුණු බව අගමැතිවරයා කියා සිටියේය.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාහැරීමට නියමිතය. චීනයේ යුනාන් පළාතේ සංචාරයේදී අගමැතිවරයා කළ ඉල්ලීමකට අනුව බිත්තර රැක්කවීමේ යන්ත්‍ර සීයයක් චීන තානාපති කිව් ෂෙන් හොන් මහතා විසින් අගමැතිවරයා වෙත ලබාදුන් අතර, එම යන්ත්‍ර කෘෂිකර්ම අමාත්‍යාංශයේ හදබිම අධිකාරිය මඟින් මෙලෙස දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරෙයි.
එහිදී වැඩිදුරටත් අගමැතිවරයා මෙසේ ද පැවසීය.
මහජන චීනයෙන් අපට ලැබුණු මේ යන්ත්‍රවලින් සෑම දිස්ත්‍රික්කයකටම ප්‍රයෝජනය ගැනීමේ අවස්ථාව ලැබෙන සේ බෙදාහරිනවා. මධ්‍යම පළාතේ සෑම දිස්ත්‍රික්කයකම මේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සංවර්ධන කමිටුවේ සහාය ලැබෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.
අස්වැසුම වැඩසටහන සඳහා වූ තේරීම් බොහෝදුරට අවසන්. පළමුවෙනි වටයේ අභියාචන විභාගය මේ වන විට හමාර කරමින් පවතිනවා.එයට සමාන්තරව අය වැයෙන් 2024 වසර වෙනුවෙන් ප්‍රකාශයට පත් කළා මෙන් එයට ගෙවන ප්‍රමාණය වැඩි කරන්න කටයුතු කරනවා.ඒ අපේ අඩු ආදායම්ලාභී ජනතාවගේ යහපතටයි. අඩු ආදායම්ලාභී ජනතාවට මුහුණ දෙන්න තිබෙන ජීවිත ගමනේ අමාරුව තේරුම් ගනිමින් ආර්ථිකය මෙහෙයවීමේ අවශ්‍යතාව නිසා මෙවැනි තීරණ ගන්නවා. අඩු ආදායම්ලාභී ජනතාවගේ ආරක්ෂාවට රජයක් ලෙස,මේ අමාරු කාලයේ ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට ඔබගේ සහයෝගය ඉල්ලා සිටිනවා.
රජයකට සංඛ්‍යා ලේඛන අවශ්‍ය වන්නේ කිසිවෙකුට දඬුවම් කරන්න නොවෙයි. නිවැරැදි සංඛ්‍යා ලේඛන සකස් කරගෙන, ආර්ථිකය නිවැරැදිව ශක්තිමත් කර ගැනීමේ ඕනෑකමටයි. රට ගැන සිතා ගම්වල සිටින සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහාය මේ අවස්ථාවේ අවශ්‍යයි. අමාරුවෙන්ම ජීවත් වෙන මිනිස්සුන්ට අත දෙන්න ඕනෑ කියන එක රාජ්‍ය සේවයේ ගැඹුරු වගකීමක් ලෙස කල්පනා කළ යුතුයි. එවැනි රාජ්‍ය සේවාවක් ඉටු වුණොත් ජනතාවගේ සහයෝගය සහ සහභාගිත්වය විවිධ ක්ෂේත්‍ර සඳහා ළඟා කරගන්න පුළුවන්. ගම්නියම්ගම්වල සිටින අපේ ක්‍ෂේත්‍ර නිලධාරීන් ජනතාවගේ ඕනෑම ප්‍රශ්නයකට මැදිහත් වෙනවා.ගංවතුරක් ආවත්,රෑට කුණාටුවක් ආවත්, සුළි සුළඟකට අහුවෙලා නිවාස විනාශ වුණත් එතැනට පළමුවෙන් යන්නේ ඔබයි. රාජකාරී නියෝගයක් තිබුණත් නැතත් එය රාජකාරියක් කරන ගමන් රාජ්‍ය පරිපාලනයේ සෑම ක්ෂේත්‍රයක්ම ගම දක්වා විහිදී තිබෙනවා. මේ අවස්ථාවේ ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න සහාය වෙන්න.
වගා කළ හැකි සෑම ඉඩමකම ග්‍රාමීයව අලුත් පරම්පරාවකට ව්‍යවසායකයන් ලෙස අවතීර්ණ වීමට ඉඩකඩ සැලසිය යුතුයි. අපේ මහන්සිය විශ්වාසය සහ ඕනෑකම දියුණුවට බලපානවා. ලෝකයේ හොඳම කුරුඳු නිෂ්පාදනය කරන රට අපේ රටයි. ලෝකය අපෙන් කුරුඳු ඉල්ලා සිටිනවා. මෙවැනි දේ ලොවට ගෙනයෑමට ප්‍රාදේශීය කාර්යාල හරහා විශේෂ උනන්දුවක් දක්වයි කියා මම විශ්වාස කරනවා.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.පී.යූ ජයරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එෆ්. ආර්. එම්. රියාල්දීන් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.