Saturday, April 19, 2025
Home » සාර්ථක අධ්‍යාපනයක් ලබන පුද්ගලයා රටේ සාර්ථකත්වයට සෘජුව බලපානවා

සාර්ථක අධ්‍යාපනයක් ලබන පුද්ගලයා රටේ සාර්ථකත්වයට සෘජුව බලපානවා

by mahesh
January 19, 2024 1:00 am 0 comment

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ආරාධිතයන් සමඟ

දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය කිරීමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය බවත්, අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීමෙන් දැනුවත් පුරවැසියකු රටට බිහි වන බවත්, එය රටේ සාර්ථකත්වයට සෘජුව බලපාන බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවැසීය.

ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ නවගත්තේගම ,කෝන්කඩවල විද්‍යාලයට අංග සම්පූර්ණ පුස්තකාලයක් දීම වෙනුවෙන් පසුගියදා (15) පැවති උත්සවයට එක් වෙමිනි.

චීන මූල්‍යාධාර යටතේ ජනාධිපති ලේකම්වරයාගේ මඟපෙන්වීම අනුව, ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් නවගත්තේගම, කෝන්කඩවල විද්‍යාලයට සහ මීගමුව දූව කනිෂ්ඨ විද්‍යාලයට අංග සම්පූර්ණ පුස්තකාල දෙකක් දීමට කටයුතු කෙරිණි.

මේ එක් පුස්තකාලයකට වැය කර ඇති මුදල රුපියල් මිලියන 02ක් වන අතර, 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්පත් රාශියක් මේ පුස්තකාලවලට ඇතුළත්ය. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතු සිදු කරන ග්‍රාමීය සිසු දරුවන්ට අත්වැලක් වෙමින් දැනුමෙන් පෝෂිත අනාගත පරපුරක් බිහි කිරීමෙන් රටේ ඉදිරි අනාගතය සාර්ථකත්වය කරාගෙන යෑම මේ වැඩසටහනේ මූලික අරමුණයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙලෙස පැවැසීය.

“ගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපතිවරයා රුපියල් මිලියන හතරක ව්‍යාපෘතියකට ආධාර කිරීමට හැකියාව තිබෙන බව මා සමඟ පැවසුවා. එහිදී පාසල් දෙකක් තෝරා ගෙන ඊට පුස්තකාල දෙකක් දීමට මා කල්පනා කළා.

මේ පාසල්වලට පුස්තකාල දීමට කල්පනා කළේ විශේෂ හේතුවක් ඇතිවයි. ඉදිරි අවුරුදු දහයේ මේ පාසල්වලට පැමිණෙන දුවා දරුවන්ට මේ පුස්තකාල හොඳින් භාවිත කළ හැකියි. මමත් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මෙවැනි කුඩා පාසලක. ඒ නිසා මේ දරුවන්ගේ අනාගතය දැන්ම කියන්න නොහැකි වුවත් ඔවුන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සහයෝගය දීම අප කළ යුතුයි.

මට දැනගන්න ලැබුණු පරිදි අද මෙහි සිටින චීන නියෝජ්‍ය තානාපතිගේ පියා ගොවියෙක්. චීන නියෝජ්‍ය තානාපතිවරයා 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විට ගොයම් සිටුවීමට පැමිණෙන ලෙස පියා ඔහුට කියා තිබෙනවා. පැයක් පමණ ගොයම් සිටුවීමේදී එතුමාගේ කොන්දේ විශාල වේදනාවක් ඇතිව තිබෙනවා. කොන්ද වේදනාව පියාට පැවසූ විට ඔහු පවසා තිබෙන්නේ. ඔබ හොඳට ඉගෙන ගත්තේ නැතිනම් කරන්න වෙන්නේ මේ රැකියාව’ බවයි.

ඒ පාඩම හිතට ගත් එතුමා අද නියෝජ්‍ය තානාපතිවරයෙක් දක්වා සාර්ථකව ඉදිරියට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් රට රටවල සේවය කරන මට්ටමට පැමිණ තිබෙනවා. ඒ නිසා මේ දරුවන් හිතට ගන්න ඕනෑ ජීවිතය ජයග්‍රහණය කිරීමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය බව. අධ්‍යාපනයක් නැති දරුවන්ට හෝ රටකට අනාගතයක් නැති බව පිළි ගත යුතුයි.”

රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති යන්වෙයි ෂු මහතා ( YANWAI ZHU) සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විදුහල්පතිවරු ද, ආචාර්ය මණ්ඩලය සහ මව්පියන් ඇතුළු සිසු දරුවෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

උත්සවයට සහභාගී වූ සිසු දරු දැරියන් පිරිසක්

උත්සවයට සහභාගී වූ සිසු දරු දැරියන් පිරිසක්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT