නොකඩවා වසර දොළහක් රටේ නායකත්වය රනිල්ට භාර දුන්නොත් මේ රට ආසියාවේ දියුණුම රටක් බවට පත්වනවා සහතික බවත්, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටගන්නා නායකයා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයේ සිටින තුරු මෙරටට කිසිම අහිතකර දෙයක් කළ නොහැකි බව විදෙස් රටවල් දන්නා බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඉකුත්දා (15) එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්මේලනය අමතමිනි.
එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් නායක හසිත මුහන්දිරම්, රත්නපුර ආසන ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් මුණසිංහ මහත්වරුන් ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකයන් එක්ව මේ ජනහමුව සංවිධාන කර තිබූ අතර, රත්නපුර නව නගරයේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී මෙය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
“මීට වසර එකහමාරකට පමණ පෙර මේ රටේ තිබුණේ තෙල් බවුසරයක්, ගෑස් කන්ටේනරයක් එනකොට ජනතාව අත්පුඩි ගහපු, මහ පාරේ වැඳගෙන හිටපු කාලයක්. ගෑස් එකක් ගන්න, තෙල් ලීටර් පහක් දහයක් ගන්න දින ගණන් පෝලිම්වල ඉන්න ජනතාවට සිදු වුණා. දැන් ජනතාවට ඒක ටිකක් අමතක වෙලා. දැන් ඇති තරම් ගෑස් සහ තෙල් තිබෙනවා. මිල ටිකක් වැඩි බව අපිත් දන්නවා. බය වෙන්න එපා, තව ටික කාලයකින් ආර්ථිකය ශක්තිමත් වූ ගමන් ඒවායේ මිලත් අඩු කරන්න අප කටයුතු කරනවා. අපටත් ඕනෙ ජනතාවට සහන දෙන්න.
සෑම මැතිවරණයකදීම අපි ජනතාවට ඇත්ත කිවුවා. අනිත් පක්ෂ ජනතාවට බොරු කිවුවා. අන්තිමට ඇත්ත කිවුව අපව පරාජය කර බොරු කිව්ව අය බලයට පත්කර මුළුමහත් ජාතියම ලොවක් ඉදිරියේ ආර්ථික අතින් බංකොලොත්භාවයට පත් කළා. මේ තත්ත්වයට රට පත් කළ සියලු දෙනාට දැන් නිවැරදි වෙන්න කාලය ඇවිත් තිබෙනවා. අවස්ථා කිහිපයකදී වැරදි කළ සියලු දෙනා එක පාරක් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියොත් පහුගිය මැතිවරණවලදී කළ වැරදි කමා කරගෙන එම සාපයෙන් මිදෙන්න පුළුවන්.”
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා
“පහුගිය කාලයේ අපේ පක්ෂයත් සමඟ සිටි ජනතාව අපෙන් ඈත් වුණා. පහුගිය මැතිවරණයේදී මුළු රටෙන්ම අලියට ලැබුණේ ඡන්ද දෙලක්ෂ හතළිස්නවදාහයි. අපට ලැබුණේ එක් බෝනස් මන්ත්‍රී ධුරයක් විතරයි. ඒ ලැබුණු එක මන්ත්‍රී ධුරයටත් යන්න 2022 වෙනකම් බලා හිටියා. මිනිස්සු අපට දොස් කිවුවා ඇයි පක්ෂය ප්‍රතිසංවිධානය කරන්නේ නැත්තේ කියලා. වසරක් දෙකක් යනකොට මේ රටේ ජනතාවට තේරුණා එජාපය නැතිව මේ රටට ඉදිරි ගමනක් නැති බව. පොහොට්ටු ආවත්, සමඟි ජන බලවේගය ආවත්, ජාතික ජන බලවේගය ආවත් එක්සත් ජාතික පක්ෂය නැත්නම් මෙලෝ රහක් නැති බව ජනතාවට තේරුණා. හරියට කරපිංචා නැති හොද්ද වගේ. එක්සත් ජාතික පක්ෂය බලයට ආ විට පමණයි රටම වැඩ බිමක් බවට පත්වෙන්නේ”
එක්සත් ජාතික පක්ෂයේ උපනායක, හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ, කම්කරු හා විදේශ කටයුතු ඇමැති මනූෂ නානායක්කාර, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය, හිටපු ඇමැති ආනන්ද කුලරත්න, එ. ජා. ප රත්නපුර දිස්ත්‍රික් නායක හසිත මුහන්දිරම්, රත්නපුර ආසන ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් මුණසිංහ සහ ඇහැලියගොඩ සංවිධායක හරිස් කිරිඇල්ල මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.