බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා මෙවර අය-වැයෙන් රුපියල් මිලියන 2,482 ක් වෙන් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙනි.
ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම ප්‍රතිපාදන යොදා ගනිමින් බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති හයක වැඩකටයුතු සිදු කිරීමට නියමිත බවයි.
ඒ අනුව මහ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතියට මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 292කි. කොළඹ ගංවතුර පාලනය කිරීම සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පදනම් කර ගනිමින් 2012දී ලෝක බැංකු ආධාර සහ දේශීය අරමුදල් මත මේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. මේ වර්ෂය සඳහා වෙන්කර ඇති මුදලින් නොරිස් ඇළ උප ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කොටස සහ ඒකාබද්ධ වැසි ජල කළමනාකරණ පද්ධතියෙහි ඉතිරි වැඩ අවසන් කිරීමට නියමිතය.
මේ ව්‍යාපෘතිය යටතේ අඹතලේ පොම්පාගාරය, මාදිවෙල නැඟෙනහිර හැරවුම, ටොරින්ටන් උමග සංවර්ධනය කිරීම ඇතුළු උප ව්‍යාපෘති 54ක් පසුගිය වසරේදී සංවර්ධනය කර මහජන පරිහරණය සඳහා භාරදී ඇති බව ඇමැතිවරයා සඳහන් කරයි.
යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියට රුපියල් මිලියන 600ක් මෙවර අය-වැයෙන් වෙන් කර තිබේ. කොළඹ අවට පවතින ඇළ මාර්ග, වැව් සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම, තෙත්බිම් සහ පහත් බිම් සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරේ.
වේරස් ගඟ වැසි අපවහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 800කි. නුගේගොඩ රත්තනපිටිය ඇළ, දෙල්කඳ ඇළ, බොරලැස්ගමුව උතුර, බොරලැස්ගමුව දකුණ සහ වේරස් ගඟ යන කලාප පහ මේ ව්‍යාපෘතිය යටතේ ආවරණය වේ. ඇමැතිවරයා පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘතියෙන් කිලෝ මීටර 55.5ක දුර ප්‍රමාණයක් ආවරණය වන බවයි. මෙමඟින් වැසි ජල රැඳවුම් ප්‍රදේශ සංරක්ෂණය කිරීම හරහා පාරිසරික සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කළ හැකි බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
මීට අමතරව කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 300ක් සහ ඔලියමුල්ල වැසි ජල අපවහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 450ක් මෙවර අය-වැයෙන් වෙන් කර තිබේ.
කොලොන්නාව ව්‍යාපෘතියෙන් කැළණි ගඟ හා සම්බන්ධ වන කිත්තම්පහුව ඇළ, සැළලිහිණි මාවත ඇළ, දඬුතොට ඇළ ආශ්‍රිත ප්‍රදේශය ආවරණය වේ. ඔලියමුල්ල ව්‍යාපෘතියෙන් කැළණිය සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන බවත්, එම ප්‍රදේශවල ගංවතුර අවම කිරීම හරහා ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පවසයි. එමෙන්ම බේරේ වැව ව්‍යාපෘතියට මෙවර අය-වැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලයන 40කි.