කිසියම් රටක ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් ඵලදායී වීමට නම් අදාළ රටේ ප්‍රජාවෙන්ම එය බිහි විය යුතු බව එක්සත් රාජධානියේ කැන්ටබරි අගරදගුරු ජැස්ටින් වෙල්බි හිමිපාණන් ප්‍රකාශ කර තිබේ.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා සහ අගරදගුරු හිමිපාණන් අතර පැවති හමුවේදී මේ බව ප්‍රකාශ කර තිබෙන අතර, ලන්ඩනයේ පිහිටි ලැම්බත් මාළිගයේදී මේ හමුව සිදුව තිබෙන බව ද, එම හමුවට පෙර අගරදගුරුතුමා විසින් එම දේවස්ථානයේදී යාඥාවක් සිදු කර තිබෙන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මහ කොමසාරිස්වරයා සහ අගරදගුරුතුමාගේ සාකච්ඡාවේදී 1845දී කැන්ටබරි අගරදගුරුතුමාගේ අතිරේක පළාත් පාලන බලප්‍රදේශයක් ලෙස ආරම්භ කරන ලද ලංකා පල්ලියේ ඉතිහාසය සිහිපත් කර තිබෙන අතර, ලංකා පල්ලිය සඳහා යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන ඇත.
අගරදගුරුතුමා 2019දී ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගත් මතකය සිහිපත් කර තිබෙන අතර, ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන් සහ බෞද්ධ ආයතනවල විකාශනය සම්බන්ධයෙන් මහකොමසාරිස්වරයා විසින් අගරදගුරුතුමා දැනුවත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්ත්වය, එහි ජාත්‍යන්තර සබඳතා, ශ්‍රී ලංකාව සමඟ එක්සත් රාජධානියේ ආර්ථික සබඳතා සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඇතුළු ශ්‍රී ලංකාවට අදාළ පුළුල් පරාසයක මාතෘකා ඔස්සේ දෙපාර්ශ්වය දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන අතර, ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් ඵලදායී වීමට නම් අදාළ ප්‍රජාවෙන්ම එය බිහි විය යුතු බවට අගරදගුරු හිමිපාණන්ගේ අදහස වී ඇත.
අගරදගුරු ජස්ටින් වෙල්බි හිමිපාණන් 2013 වසරේ සිට කැන්ටබරි හි 105 වැනි අගරදගුරුවරයා වන අතර, සමස්ත එංගලන්තයේ ප්‍රයිමේට් සහ ලෝක ව්‍යාප්ත ඇංග්ලිකන් හවුලෙහි සංකේතාත්මක ප්‍රධානියා වේ.