සිසුන් ප්‍රවාහනය කරන ඇතැම් බස් රථවල අඩුපාඩු පවතින බව පෙනී ගොස් ඇති බැවින් ඉදිරි පාසල් නිවාඩු කාලයේ එවැනි බස් රථ නිසි තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා ලෙස ගම්පහ කොට්ඨාස රථවාහන අංශය බස් ධාවකයන් දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබීය.
කොට්ඨාස රථවාහන කමිටුව, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ රථවාහන අංශාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසිරි මෙන්ඩිස් මහතා විසින් පාසල් බස් රථ නියෝජිතයන් දැනුම්වත් කරමින් මේ බව පැවසීය.
අඩුපාඩු පවතින ලංගම සහ පෞද්ගලික බස් රථ සකස් කර ගැනීමට නිවාඩු කාලය ලබාදෙන අතර, ඉන්පසුව කරන පරීක්ෂාවන්හිදී අඩුපාඩු සහිත බස් රථ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ස්ථානාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.
බීමත්ව සිසු දරුවන් ප්‍රවාහනය කළ රියැදුරන් කීප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ද මෙහිදී ප්‍රකාශ වූ අතර, ඇතැම් පාසල් බස් රථ රියැදුරන් කොට කලිසම් සහ සුදුසු නොවන තත්ත්වයේ ඇඳුමින් සැරසී සිටින බැවින් මේ තත්ත්වය ද නිවැරැදි විය යුතු බවත් ප්‍රකාශ කෙරිණි.
මාර්ගවල භූගත දුරකතන රැහැන් යොදා ඇති බොහෝ සංදාම කුටි මතුපිට මාර්ගයට සමාන්තරව නොමැති තත්ත්වයක පවතින බැවින් නිසියාකාරයෙන් සකස් කිරීම විය යුතු බවට ටෙලිකොම් නිලධාරීන් වෙත දැනුම් දෙනු ලැබූ අතර මාර්ගය දෙපස පවතින අනතුරුදායක ගස් අතු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මාර්ග සංවර්ධන හා පළාත්බද මාර්ග ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් දැනුම්වත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.
කොළඹ – මහනුවර මාර්ගයේ නිට්ටඹුව, තිත්තවැල්මංකඩ වංගුවේ පවතින අනතුරුදායක තත්ත්වයට විසඳුමක් දිය යුතු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතා සඳහන් කළ අතර, රාජ්‍ය ආයතන සහ ස්වේච්ඡා සංවිධාන විසින් මාර්ග ආරක්ෂාව සඳහා පොලිසිය දෙන සහාය අගය කරන බව ද පැවසීය. ගම්පහ කොට්ඨාසයේ පොලිස් ස්ථාන 19හි රථවාහන අංශාධිපතිවරුන් සහ රාජ්‍ය ආයතන හා ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.