සිංගප්පූරුවේ කැබිනට් ඇමැතිවරයකුට අල්ලස් චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දූෂණයෙන් තොර රාජ්‍යයක් බවට ලොව පුරා ප්‍රකට සිංගප්පූරුවේ අමාත්‍යවරයකු මෙවැනි චෝදනාවකට හසුවීම ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයට ලක් වී ඇතැයි ද වාර්තා වේ.
එම ඇමැතිවරයා සුබ්‍රමනියම් ඊස්වරන් නමැති ඉන්දීය සම්භවයක් සහිත සිංගප්පූරු ජාතිකයකු වන අතර, ඔහුට චෝදනා 27ක් එල්ල වී ඇතැයි වාර්තා වේ. සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් අදාළ විමර්ශන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
සිංගප්පූරුවේ සංචාරක කර්මාන්තය අධීක්ෂණය භාරව සිටි ඊස්වරන් එරට පැවැති ෆෝමියුලා ගෝන් ප්‍රී ජාත්‍යන්තර මෝටර් රථ තරගාවලිය අතරතුර සංවිධායකයන්ගෙන් සිංගප්පූරු ඩොලර් 1,60,000ක් වටිනා ත්‍යාග පැකේජයක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇතැයි වාර්තා වේ. ගුවන් ගමන්, සුපිරි හෝටල්වල නවාතැන් පහසුකම් සහ ගෝන් ප්‍රී තරග නැරැඹීමට ටිකට්පත් ඇතුළු පහසුකම් රැසක් ඔහු අල්ලස් වශයෙන් ලබා ඇතැයි අනාවරණය වී තිබේ.
සිදු කරනු ලබන විමර්ශනවලට සහාය පළ කරමින් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ ඊස්වරන් පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා ලැබූ වැටුප් සහ මාසික දීමනා නැවත රජයට භාර දෙන බවත් ප්‍රකාශ කර තිබේ. ඔහු සිංගප්පූරු ඩොලර් 8,500ක වැටුපක් ගන්නා අතර, තවත් ඩොලර් 15,000ක මාසික දීමනාවක් ද ලබමින් සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.