Home » අර්බුදයෙන් ගොඩ ඒමට ජාතික ප්‍රතිපත්තියක් ඕනෑ

අර්බුදයෙන් ගොඩ ඒමට ජාතික ප්‍රතිපත්තියක් ඕනෑ

කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයේ අංශාධිපති, ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

by mahesh
January 19, 2024 1:00 am 0 comment

ඉතිහාසයේ පෙර නොවූ ලෙස මෙරට ආර්ථිකය බිඳී ගොසිනි. එය නඟා සිටුවීමේ වගකීම සමස්ත ශ්‍රී ලාංකිකයන් සතු වගකීමකි. ඒ සඳහා ජාතික වැඩසටහනකට අනුව පෙළගැසිය යුතුය. ඒ පිළිබඳව කොළම විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයේ අංශාධිපති ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා සමඟ කළ සංවාදයකි.

– පට මේ අගාධයෙන් ගොඩ එන්න පුළුවන්
– මහන්සි වී උපයන ආදායමින් ගෙවන බදු වලින් මහන්සි නොවී සහන ලැබීම ලැජ්ජාවක්
– මොන ආණ්ඩුව ආවත් දැඩි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි
– සුබසාධන සංවර්ධන රාජ්‍යයට තිත

ආර්ථික බංකොලොත්භාවය පිළිබඳව මත දෙකක් කරළියට නැඟී තිබේ. එකක් වැරදි ආර්ථික කළමනාකරණය, අනෙක භූගෝලීය දේශපාලනය. ඔබ එය අර්ථ දක්වන්නේ කෙසේද?

ආර්ථික අර්බුදය අපි විසින්ම නිර්මාණය කරගත් තත්ත්වයක්. එය ප්‍රවේශ තුනක් යටතේ විග්‍රහ කළ හැකියි.

ආසන්න හේතු, දීගු කාලීන හේතු සහ මූල හේතු විදිහටයි.

ආසන්න හේතු ලෙස කොරෝනා වසංගතය, සංචාරක කර්මාන්තය බිඳවැටීම, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ නොලැබී යාම, කාබනික කෘෂි කර්මාන්තයට පමණක් අවස්ථාව දීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම, රුපියල ස්ථාවරව පවත්වා ගැනීම හා මුදල් මුද්‍රණය කිරීම මේ කරුණු සියල්ල හදිසි උවදුරු තත්ත්වයකට ඔරොත්තු දීමට තරම් ආර්ථික ශක්තියක් නොතිබීම සහ වැරදි ආර්ථික කළමනාකරණයයි.

දිගු කාලීනව පැවත එන හේතු අතර, මූලික කරුණ දිගින් දිගටම ගෙවුම් ශේෂයේ හිඟයක් සහිතව ආර්ථිකය නඩත්තු කිරීමයි. විදෙස් විනිමය ගලාඒමට වඩා රටින් පිටතට විනිමය ගලායෑමකුයි පැවතුණේ. විදෙස් ආයෝජන ඉතාමත් අඩු මට්ටමක පැවතීම නිසාම ආර්ථිකයේ මූලික කාරණා කීපයක් දිගින් දිගටම ස්ථාවරව පැවතුණා. නිරතුරුව ගෙවුම් ශේෂයේ හිඟයක් පැවතීම, ඒ හිඟය පියවා ගැනීමට ණය ගැනීම මෙන්ම රටේ ඉතිරි කිරීම් සීමිත වීම, මේ හේතුවෙන් ආයෝජන අත්‍යවශ්‍යතා අතර, විශාල පරතරයක් ගොඩනැඟීම ආදී වශයෙන් ත්‍රිත්ව පරතරයක් සහිතවයි නිදහසින් පසුව ආණ්ඩු දිගටම කටයුතු කළේ.

කිසිදු රජයක් මේ තත්ත්වයට පිළියම් සෙවීමට උත්සාහ නොගත් බවද ඔබ අවධාරණය කරන්නේ?

2003 දී සම්මත කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මඟින් මේ සඳහා නිර්ණායක කීපයක් සැකසුවා. ඉන් පළමුවැන්න අය වැය හිඟය 5% අගයට අඩු මට්ටමක පවත්වා ගැනීම. දෙවැනි කාරණය රජයේ ණය ප්‍රතිශතය රාජ්‍ය ආදායමෙන් 60%ක අගයකට අඩුවෙන් පවත්වා ගැනීම. මෙවැනි තීරණයකට එළඹ තිබුණේ වර්තමානයේ ගන්නා ණය අනාගත නූපන් පරපුර ගෙවිය යුතු තත්ත්වය වැළැක්වීමටයි. නමුත් මෙම පනත නිසි පරිදි ක්‍රියාත්මක වූයේ 2003 වසරේදී පමණයි. ඉන් පසුව ගෙවුණු වසර 20 තුළදීම ඒ පිළිබඳව නොසලකා කටයුතු කර තිබෙන්නේ. ඒ අනුව දිගින් දිගටම අය වැය හිඟය, ගෙවුම් ශේෂයේ හිඟය මෙන්ම ජංගම ගිණුමේ හිඟයක් සහිතවයි රටේ ආර්ථිකය නඩත්තු කළේ. මෙලෙස දිගින් දිගටම ආර්ථික අස්ථාවරයට බලපෑ හේතු විමසන විට ආර්ථිකය අස්ථාවර බවට බලපෑ මූල හේතු හඳුනාගත හැකියි.

මූල හේතු ලෙස හඳුන්වන්නේ මොනවාද?

අය වැය හිඟයක් ඇති වෙන්නේ ආදායමට වඩා වියදම ඉහළ යාම නිසයි. රජයට ආදායම් ලැබෙන ප්‍රමුඛ ක්‍රමය බදු ආදායමයි. බදු ආදායම් දිගින් දිගටම අඩු වෙන්නේ බදු ගෙවිය යුතු පිරිස් බදු නොගෙවා නිදැල්ලේ පසුවීම නිසයි. තවත් ආකාරයකින් පවසන්නේ නම් දේශපාලනය හා ආර්ථිකය එකම පිරිසක් විසින් හැසිරවීමේ ප්‍රතිඵලයක් විදිහට බදු අය කළ යුතු පිරිස් බදු නොගෙවීමේ වරප්‍රසාද ලබා සිටිනවා. මේ හේතුව නිසා බදු ගෙවීමට සිදුව ඇත්තේ හුදු සාමාන්‍ය ජනතාවට වක්‍ර බදු පැනවීම නිසාවෙන් නිරන්තරයෙන් බදු ගෙවීමට සිදු වී තිබෙන්නේ ඒ පිරිසටයි. මෙරට බදු ආදායමෙන් 80%ක් වක්‍රබදුවලින් උපයන්නේ. ඒ අතරිනුත් වැඩි ප්‍රමාණය මත්පැන් හා දුම්වැටි පරිභෝජනය කරන අයගෙනුයි උපයා ගන්නේ. මේ නිසා සැබෑ ලෙසම ආදායම් උපයන ව්‍යාවසායන් මඟහැරී තිබෙනවා. මීට බලපෑ මූලික හේතුව ආර්ථිකය හා දේශපාලනය එක් සුළු කණ්ඩායමක් විසින් මෙහෙයවීමයි.

අනෙක් මූල හේතුව රජයේ වියදම්. රාජ්‍ය ආදායමට වැඩි අගයකින් පැවතීම එය දිගින් දිගටම පවතින්නේ ඉතා ඉහළ අගයකයි. ඊට හේතුව රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම්. දේශපාලන මට්ටමින් සිදු වීමයි. පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තු කිරීමට රජයේ අරමුදල් යෙදවීම මෙහි කැපී පෙනෙන ලක්ෂණයක්. මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ මැතිවරණ පොරොන්දු මෙන්ම මැතිවරණ ජය ගැනීමේ අපේක්ෂා ඇතිව රාජ්‍ය සේවයට පිරිස් බඳවා ගැනීමයි. බලය හිමිකර ගැනීම හා රැක ගැනීම සඳහා මෙසේ රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම පමණක් නොවේ වැරදි කළමනාකරණය හේතුවෙන් දිගින් දිගටම වියදම් වැඩි රාජ්‍ය අංශයක් නඩත්තු කිරීම හඳුනාගත හැකියි.

අනෙක් මූල හේතුව ජංගම ගිණුමේ හිඟයයි. ඒ සඳහා මූලිකව බලපෑ කරුණ වෙන්නේ අපනයන ආදායම් අඩු වීමයි. විදෙස් ආයෝජන අපේක්ෂිත මට්ටමින් ගලා නොඒම මීට තුඩුදෙන කරුණු අතර පවතී. විදෙස් ආයෝජන ආකර්ෂණයට සුදුසු යහපාලන පරිසරයක් නොමැතිකම අල්ලස් හා දූෂණය බහුල වීම. දේශපාලන අනුග්‍රාහකත්වයක් නොමැතිව විදෙස් ආයෝජකයන්ට මෙරට ආයෝජනය සඳහා යෝග්‍ය පරිසරයක නොමැති වීම. මෙවැනි හේතු නිසාම ආයෝජන ගලා නොඑන තත්ත්වයක් ඇතිවී තිබුණා. මේ තත්ත්වයන් සමනය කොට ආදායම් ඉපැයීම සඳහා රජයන් ගත් පිළියම වුණේ ශ්‍රමිකයන් විදෙස් සේවයට යොමු කිරීමයි.

මේ ආකාරයෙන් වංචාව, දූෂණය, නිත්‍යානුකූල නොවන අන්දමින් මුදල් රටින් බැහැර කිරීම ආදී කරුණු සියල්ල සම්පිණ්ඩනය කිරීමේදී පෙනී යන්නේ ආර්ථික බංකොලොත් බවට මූලිකම හේතුව දේශපාලනය හා ආර්ථිකය එකම පිරිසක් විසින් හසුරවමින් ඒ පිරිසේ සුඛවිහරණය සඳහා නඩත්තු කිරීමයි.

ඔබ පවසන්නේ මෙය එක් පන්තියක් විසින් නිර්මාණය කරන ලද්දක් බවද?

දේශපාලනය හා ආර්ථිකය එකම පිරිසක් විසින් හසුරුවමින් ඒ පන්තියේ අවශ්‍යතාව වෙනුවෙන් සියල්ල හැසිරවීමට ගත් උත්සාහය නිසයි මෙවැනි තත්ත්වයක් උද්ගත වී තිබෙන්නේ. මතුපිට ගැටලුව අය වැය පරතරය ගෙවුම් ශේෂය විය හැකියි. නමුත් එය ඇතිවීමේ මූලික හේතුව දේශපාලනය හසුරුවන පිරිස ආර්ථිකය පෝෂණය කිරීමත් ආර්ථිකය හසුරුවන පිරිස දේශපාලනය පෝෂණය කිරීමත් යන කාරණා එකට බැඳී තිබීමත් නිසයි. මෙම තත්ත්වයන් පාලනය කළ නොහැකි වී ඇත්තේ රාජ්‍ය පාලනයත්. මේ පිරිසේම අතකොළුවක් බවට පත්ව තිබීමයි.

ඔබ පවසන්නේ ආර්ථික බිඳවැටීම පසුපස සමාජ සංස්ථා බිඳවැටීමකුත් පවතින බවද?

නිදහසින් පසුව යහපත් රාජ්‍ය පාලනයක් ඇතිකිරීම, රාජ්‍ය මූල්‍ය පවත්වාගෙන යාමට අදාළ ආයතන පිහිටුවීම, පවතින නීති යාවත්කාලීන කිරීම. නීතිය ක්‍රියාත්මක කිරීම වැනි අංශ බරපතළ බිඳවැටීමකට ලක්වී ඇති බවයි. ඇත්තෙන්ම මෙය ආර්ථික අර්බුදයක් සේම සමාජ, දේශපාලනමය වශයෙන් පමණක් නොවේ සැබවින්ම රාජ්‍යත්වයේ බිඳවැටීමක්. මේ වනවිට අපි විදේශයන්ට අතපාන ජාතියක් බවට පත් වී තිබීමෙන් ඒ බව තහවුරු වෙනවා.

මේ තත්වයෙන් ගොඩඒමට අප කළ යුත්තේ කුමක්ද?

දැනට කරගෙන යන ආකාරයට ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බදු වැඩි කිරීම, නාස්තිය අවම කිරීම වැනි කාරණා වෙතින් ඔබ්බට ගොස් පුළුල් සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ මේ සඳහා අවැසියි. එපමණක් නොවේ, ඒ ප්‍රතිසංස්කරණ නියම ආකාරයෙන් ක්‍රියාවට නැංවිය යුතුයි. උදාහරණයක් ලෙස අල්ලස් විරෝධී පනත, අල්ලස් කොමිසම වැනි ආයතන නියම ආකාරා‍ෙයන්ම ක්‍රියාත්මක විය යුතුයි. කෙටිකාලීන විසඳුම් සේම ආර්ථිකය ස්ථාවරව ගොඩනැඟීම සඳහා දිගුකාලීන පියවර තැබිය යුතුයි.

එසේ නිවැරදි මාවතට අවතීර්ණ වූ වෙනත් රාජ්‍යයන් පිළිබඳව උදාහරණයක් දිය හැකි ද?

මේ සඳහා හොඳම උදාහරණය ඉන්දියාවයි. 1991දී ඉන්දියාව මෙවැනිම ගැටලුවකට මුහුණ පෑවා. ඉන්දියාවේ ගෙවුම් ශේෂ අර්බුදය නිසා සති තුනකට පමණයි ප්‍රමාණවත් වුණේ ඔවුන්ගේ සංචිත. ඒ අවස්ථාවේ ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය ලබාගැනීමට සිදු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව ආර්ථිකයේ පුළුල් ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට ඔවුන් පියවර ගත්තා. ඒ වන විට පැවති සංවෘත ආර්ථිකය වෙනුවට ලිහිල් ආර්ථික ප්‍රතිපත්ති ගෙන ආවා. එතෙක් පැවති දූෂණ අල්ලස් පිටුදකිමින් දැඩි රාජ්‍ය මූල්‍ය විනයක් ඇතිකිරීමට සමත් වුණා. මේ හේතුවෙන් එරටට විදෙස් ආයෝජන ගලා ඒමට අවස්ථාව සැලසුනා. වැදගත්ම කාරණය කුමන ආණ්ඩුව බලයට පැමිණියත් එම ප්‍රතිපත්ති දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම ඉන්දීය රජයන් කටයුතු කළා. එරට ප්‍රධාන පක්ෂ දෙක වන භාරතීය ජනතා පක්ෂය මෙන්ම ඉන්දියා කොංග්‍රසය පුළුල් එකඟතාවක් ඇතිකරගෙන තිබුණා.

ඔබ පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි උපදෙස් ජාතික වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නැංවිය යුතු බවද?

ඔව්. එය පරිස්සමින් හඳුනාගත යුතු වෙනවා. උදාහරණයක් ලෙස වක්‍ර බදු වැඩිකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කිරීමයි. ඔවුන්ගේ නිර්දේශය වන්නේ රජයේ ආදායම් වැඩිකරගත යුතු බවයි. ඒ අනුව බදු නොගෙවන පිරිස් හඳුනාගෙන ඔවුන් වෙතින් බදු අය කිරීමේ පුළුල් ප්‍රතිසංස්කරණ ඇතිකළ යුතු වෙනවා. මේ වැඩසටහන කුමන රජය ආවත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. බදු පමණක් නොවෙයි අනෙකුත් ආර්ථික ප්‍රතිසංස්කරණත් එසේමයි. ඇතැමෙක් කියනවා අපේ රජයක් යටතේ නම් විශාල වශයෙන් සහන ගෙනඑන බව, මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරන බව. සැබවින්ම ඒවා දේශපාලන මුළා කිරීම් ලෙසයි හඳුනාගත යුත්තේ. මහපොළොවේ යථාර්ථය ඊට වෙනස්. එසේ කියන අය පිළිබඳව මහජනතාව නැවත සිතා බැලිය යුතුයි.

පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණය ඇතිකිරීම සඳහා මහජනතාවගේ මැදිහත්වීමත් වැදගත් නේද?

මේ තත්ත්වයට වගකිවයුත්තේ 225 පමණක් නොවේ. මේ තත්ත්ය ඇතිකර ගත්තේ අපි සැමගේම මැදිහත් වීමෙන්. මේ බිඳවැටීමට මේ පරම්පරාවම වගකිව යුතුයි. අපි හැමෝම කාලයක් තිස්සේ ඡන්දය භාවිත කළේ රටට යහපතක් කරන පාලනයක් ගෙන ඒමට නොවේ. අපි බැලුවේ අපිට අත්වෙන වාසිය පිළිබඳවයි. රැකියාවක් ලබාගැනීම බඩු මිල අඩු කරන පඩියට 10000ක් එකතු කරන වැනි පොරොන්දු සලකායි. අපිට තිබුණේ පුද්ගලික කාරණා. එපමණක් නොවේ, අපි බොහෝ දෙනෙක් මහන්සි නොවී ජීවත් වීමටයි පුරුදු වී තිබෙන්නේ. නිකන් දෙන දේවල් ලබාගැනීම සඳහායි කටයුතු කර තිබෙන්නේ. ලෝකයේ වෙනත් රටක මහන්සි වී වැඩ කරන ජනතාවගෙන් රැස්කරන ලද බදු මුදල් ණය වශයෙන් ලබාගෙන අපි සහනාධාර ලබමින් ජීවත් වුණා. දැන් ඒ සුබසාධන සාදය අවසන් කිරීමට කාලය ඇවිත්. පොහොර සහනාධාරය, අධ්‍යාපනය, සෞඛ්‍ය, වැඩිහිටි දීමනා, අස්වැසුම ආදී මොන නම්වලින් ආවත් අපි ණයට අරගෙනයි සහන ලබා තිබෙන්නේ. දැන් අපි තීරණය කළ යුතුයි සහන ලැබිය යුතුම පිරිසට සහන ලබා දී අන් අය සහන අපේක්ෂා නොකිරීමට. තවකෙනෙකු මහන්සි වී උපයන ආදායමින් උපයන බදු මුදලින් මහන්සි නොවී සහන ලැබීම ලැජ්ජාවට කරුණක් බව වටහාගත යුතුයි.

ඔබ පවසන ආකාරයේ ප්‍රතිසංස්කරණ ඇසුරින් සංවර්ධන මාවතට අවතීර්ණ වූ රාජ්‍යයන් පිළිබඳව උදාහරණ දිය හැකිද?

ඒ සඳහා හොඳම උදාහරණය විදිහට වියට්නාමය හැඳින්විය හැකියි. අමෙරිකානු යුද්ධයෙන් බැට කා හෙම්බත් වී සිටි වියට්නාමය 1986 ඩුයින්මොයි ප්‍රතිසංස්කරණ හරහා වර්තමානය වනවිට විශාල ආර්ථික සංවර්ධනයක් අත්කරගෙන තිබේ. අනූව දශකයේ මුල් භාගයේදී වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් බිලියන 17ක් වනවිට අපගේ ආදායම ඩොලර් බිලියන 05ක් ලෙසයි පැවතියේ. මේ වනවිට ඔවුන්ගේ අපනයන ආදායම ඩොලර් බිලියන 350ක් බවට පත්වී තිබෙන විට අපගේ අපනයන ආදායම ඩොලර් බිලියන 12ක්.

අප්‍රිකානු රාජ්‍යයන් බොහොමයක් මුහුණදෙන පොදු තත්ත්වය ඉතා හොඳ ස්වාභාවික සම්පත් තිබියදීත් දූෂිත දුර්වල රාජ්‍ය පාලනය හේතුවෙන් දුප්පත් බවෙහි ගිලී සිටීම. මෙම තත්ත්වයෙන් වෙනස් වූ රටක් ලෙස බොස්වානා රාජ්‍යය හඳුනාගත හැකියි. ඔවුන්ගේ රාජ්‍ය පාලන රීතීන් අතරට යහපාලනය ප්‍රතිපත්ති හඳුන්වා දී තිබූ අතරම දැඩි මූල්‍ය විනය මෙන්ම නීතියේ ආධිපත්‍ය සුරැකීම සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතුකර තිබුණා. මේ හේතුවෙන් එරට ආර්ථික වර්ධනයට බලපෑමක් ඇතිවුණේ ආයෝජන වැඩිවීමට මෙන්ම සංවර්ධන ව්‍යාපෘති පැමිණීමට හිතකර පරිසරයක් ගොඩනැඟී තිබීම නිසයි. බොස්වානාහි ඒකපුද්ගල ආදායම ඩොලර් 7000කට වඩා වැඩි අගයක් ගෙන තිබෙනවා. මේ රට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවේ 1966දී නිදහස ලබන විට කාපට් අතුරන ලද පාරවල් තිබුණේ කිලෝමීටර් 12ක් දුරකට පමණයි. නිදහස ලබන විට ඒ රටේ උපාධිධාරීන් 20 දෙනයි හිටියේ. නමුත් ඔවුන් මේ වන විට ඒ සියලු අභියෝග ජය ගෙන තිබෙනවා. බොස්වානා යහපාලනය ස්ථාපිත කරමින් දියුණු වූ රටක් වියට්නාමය. අපනයන ආර්ථිකය දියුණු කරමින් සංවර්ධනය අත්කරගත් රටක්. ලංකාව ආර්ථිකය වර්ධනය කළේ දේශීය ආර්ථිකය දියුණු කරමින්. වරාය ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග සඳහා ආයෝජනය කරමින්. දේශීය ආර්ථිකය ගොඩනඟමින්. නමුත් ඒ සංවර්ධනය තුළත් විශාල වශයෙන් දූෂණ අක්‍රමිකතා සිදු වී තිබුණා. සංවර්ධනයේදී යහපාලනය, විදෙස් ආයෝජන ශක්තිමත් කිරීම මෙන්ම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම යන අංශ තුන කෙරෙහිම අවධානය යොමු කිරීම ඉතා වැදගත්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT