Home » අද සිනේ ඡායාවෙන් සිකුරුලියා

අද සිනේ ඡායාවෙන් සිකුරුලියා

by mahesh
January 19, 2024 1:00 am 0 comment

රජිත බස්නායක

ජාතික රූපවාහිනියේ සිනේ ඡායාවෙන් අද විකාශය වීමට නියමිත සිකුරුලියා චිත්‍රපටය, එවක බොහෝ දෙනෙකුගේ මාතෘකාවට බඳුන් වූයේ බන්දුල ගලගෙදර චිත්‍රපටයේ රංගනයට සම්බන්ධ වීමත් සමඟිනි. එයට හේතු වූයේ ඔහු සාමාන්‍ය පුද්ගලයකුට වඩා මිටි ස්වභාවයක් ඉසිලූ නිසාවෙනි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ මැද මාවතේ සිනමාකරුවා ලෙසින් හඳුන්වන එච්. ඩී. ප්‍රේමරත්නයන්ය.

හැත්තෑව දශකයේදී එච්. ඩී. ප්‍රේමරත්නයන්ට දැඩි අවශ්‍යතාවයක් වූයේ වෙනම ආරක චිත්‍රපටයක් නිපදවීමටයි. ඔහුගේ සිතේ මැවුණු කතා තේමාවට අනුව එහි චරිතයක් රඟපානු ලැබුවේ අන් කවරදාවත් සිනමාපටයක ප්‍රධාන භූමිකාව රඟදැක්වූ නළුවකු නොවේය. ප්‍රේමරත්නයන්ට අනුව ඔහු විසින් ලියැවුණු ජොනී බාලසූරිය චරිතයට සම්බන්ධ වූයේ බන්දුල ගලගෙදරය. මෙසේ බන්දුල ගලගෙදර සම්බන්ධ කර ගනිමින් නිමැවූ චිත්‍රපටය තිරගත වූයේ 1975 සැප්තැම්බර් මස 27 වැනිදාය. එවක බොහෝ දෙනා, එච්. ඩී. ප්‍රේමරත්නගේ මෙම චිත්‍රපටය හැඳින්වූවේ කාලගෝල කතාවට නව අර්ථකථනයක් සැපයූ චිත්‍රපටයක් ලෙසිනි. මෙසේ තිරගත වූ සිකුරුලියා චිත්‍රපටය මරදානේ එල්ෆින්ස්ටන්හි නොකඩවා දින 62ක් තිරගත විය. සිකුරුලියා චිත්‍රපටය තිරගත වී වසර 48ක් ඉක්ම ගියද අදට ද ජනප්‍රිය ගීතයක් වන්නේ,

කොමළ ලියා බොළඳ ලියා 
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා…

ගීතයයි. මෙම ගීතය චිත්‍රපටයේ මිල්ටන් පෙරේරා ගායනා කළ ද මේ සඳහා මුලින් නම් වී ඇත්තේ ඩබ්. ඩී. අමරදේවයන්ය. එහෙත් එම තීරණය වෙනස් වී ඇත්තේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ අදහසක් මතය. ඔහුගේ ස්ථාවරය වී ඇත්තේ මේ ගීතය ගායනා කිරීමට සුදුස්සා මිල්ටන් පෙරේරා බවය. මෙම ගීතයත් සමඟ ‘දිලි දිලි දිලිසෙන එළියක්’, ‘මල්සර හදකට තුරුලු වෙලා’ වැනි ජනප්‍රිය ගීත කීපයක්ම එහි ක්ලැරන්ස් විජේවර්ධන විසින් සංගීතවත් කර තිබිණි. චිත්‍රපටයේ ගීත රචනාවන්ට සම්බන්ධ වූයේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, සිරිල් ඩී‍. සීලවිමල, ධර්ම ශ්‍රි ගමගේ සහ ක්ලැරන්ස් විජේවර්ධනයි. මිල්ටන් පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාල, ඉන්ද්‍රානි පෙරේරා, බේබි ‍ෂිරෝමා, ලිලන්ති ගුණසේකර, පියදාස ගුණසේකර ගීත ගායනයෙන් සම්බන්ධ වූහ.

වැලිකතර සිනමාපටයට පසු පුළුල් තිර චිත්‍රපටයක් ලෙසින් තිරගත වූයේ සිකුරුලියා චිත්‍රපටයයි. නවක අධ්‍යක්ෂවරයකු වූ එච්. ඩී. ප්‍රේමරත්න තම චිත්‍රපටය සඳහා තෝරාගත් නළු නිළියන් වූයේ විජය කුමාරතුංග, සුවිනීතා වීරසිංහ, ජෝ අබේවික්‍රම, බන්දුල ගලගෙදර, ශාන්ති ලේඛා, විමල් කුමාර ද කොස්තා, රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පියදාස ගුණසේකර, තලතා ගුණසේකර, රූබි ද මෙල්, දෙනවක හාමිනේ යන නළු නිළි පිරිසය.

ලාංකේය සිනමා වංශ කථාවේ 314 වැනි චිත්‍රපටය වූ සිකුරුලියා චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබුවේ බී.මිල්ටන් රණසිංහ, පී. ඇන්තනි ෆනෑන්ඩු, බී. ඩී. ටියුඩර් පෙරේරා සහ වසිරාල් අන්සාර්ය.

කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා…

ගත සීතල පහස ලබා
ළැම රන්වන් සුවඳ සොබා
නිමවෙයි රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT