රෝගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම උදෙසා ප්‍රඥප්තියක් සැකසීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ අනුකාරක සභාවේදී තීරණය විය.
ඒ එම අනුකාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රඥප්තියේ කෙටුම්පත සකස් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට පෙන්වා දුන්හ. මෙම කෙටුම්පත මේ සඳහා වූ සාකච්ඡාවට මූලික ලේඛනය ලෙස යොදා ගැනීමට මෙන්ම රෝගීන් වෙනුවෙන් කටයුතු කරන සියලූ පාර්ශ්වවල අදහස් ලබා ගැනීමට භාවිතා කිරීමටද තීරණය විය.
එමෙන්ම සාමාන්‍ය ජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට පියවර ගත යුතු බවද කමිටු සභාපතිවරයා අවධාරණය කළේය. ඒ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් පළ කිරීමට පියවර ගත යුතු බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. මහජන අදහස් ලබාගැනීමට සති හයක පමණ කාලයක් ලබාදීම පිළිබඳව ද කාරක සභාව තුළ සාකච්ඡා විය. මහජන අදහස් ලබා ගනිමින් ඊට අදාළ වෘත්තීය සමිති, සංවිධාන සහ ආයතන සමඟ සාකච්ඡා කර අවසන් කෙටුම්පත සකස් කිරීමට ද මෙහිදී තීරණය විය.
මෙහිදී අදහස් දැක්‌වූ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ජාතික මැතිවරණයකට පෙර රෝගීන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම පිළිබඳ පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, එබැවින් මෙම ක්‍රියාවලිය කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා ලෙසත් කාරක සභාවෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාව සඳහා රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා ප්‍රඥප්තියක් සකස් කිරීම සඳහා පත් කරන ලද විද්වත් මණ්ඩලයේ නියෝජිතයින් සහභාගී විය.