Home » කරාපිටිය විශේෂඥ වෛද්‍යවරයා 22 දා තෙක් රිමාන්ඩ්
සේවිකාවකට පහර දීම

කරාපිටිය විශේෂඥ වෛද්‍යවරයා 22 දා තෙක් රිමාන්ඩ්

by mahesh
January 19, 2024 1:00 am 0 comment

ගාල්ල - නන්දසිරි වැලිගමගේ, සිරංගිකා ලොකුකරවිට හා දික්වැල්ලේ තිලකරත්න

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ සේවය කරන සේවිකාවකට හා සේවකයකුට පහරදීම සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද එම රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා මෙම 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (18) නියෝග කළේය.

මෙම පහරදීමට ලක් වූ සේවිකාව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය මඟින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත බී වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසා සිටියේ සිද්ධිය සම්බන්ධ සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටින්නේ ද යන්නය.

එයට පිළිතුරු දුන් පැමිණිල්ලේ පොලිස් නිලධාරින් සැකකරු අසනීප වී පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්ය.

එහිදී මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පවසා සිටි⁣යේ මෙම පැමිණිල්ල පිළිබඳ විමසීම සැකකරු ඉදිරියේම කළ යතු බැවින් පස්වරු 4.00ට රෝහලට යා යුතු බවය. එ අනුව උසාවියේ වැඩ කටයුතු නිමා කළ මහේස්ත්‍රාත්වරයා පස්වරු 4.00 වන විට සැකකරු සිටි එම පෞද්ගලික රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කොට මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

අදාළ වෛද්‍යවරයා බන්ධනාගාර නිලධාරින් භාරයේ කරාපිටිය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීමට ඊයේ සවස (18) පියවර ගනු ලැබිණි.

මෙකී පහරදීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඊයේ (18) උදෑසන කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් විරොධතාවක් ද ආරම්භ කර තිබිණි. පසුව විරෝධතාකරුවන් විසින් රෝහල් අධ්‍යක්ෂවරයා මුණගැසී සාකච්ඡාවක් ද සිදු කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් විරෝධතාව අවසන් කරන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මෙහිදී ඉල්ලීමක් කරණු ලැබීය. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කළ විරෝධතාව මේ වන විට අවසන්ව ඇත.

විශේෂඥ වෛද්‍යවරයා විසින් සුළු සේවිකාවකට පහරදුන් බවට සඳහන් කරමින් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් පිරිසක් පෙරේදා (17) පස්වරුවේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළදී විරෝධතාවක නිරත වූහ.

මෙකී කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ඉකුත් 16 වැනි දින පැවති වැඩ වර්ජනයට එක්ව සිටි අතර ඊයේ (17) මෙම විශේෂඥ වෛද්‍යවරයා භාරව කටයුතු කරන වාට්ටුවේ සේවයට පැමිණ ඇත. එහිදී විශේෂඥ වෛද්‍යවරයා විසින් වර්ජනය කිරීම සම්බන්ධයෙන් මෙම වාට්ටුවේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන්ට දොස් පවරා ඇත. එහිදී විශේෂඥ වෛද්‍යවරයා හා කනිෂ්ට කාර්ය මණ්ඩල සේවකයන් අතර උණුසුම් තත්තවයක් ඇති වී තිබේ. පසුව කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් විසින් මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරයා ද දැනුවත් කොට ඇති අතර පසුව මෙකී සිද්ධිය සමථයකට පත්ව ඇත.

කෙසේවුවද මෙම සිද්ධිය මුල් කර ගනිමින් විශේෂඥ වෛද්‍යවරයා සුළු සේවිකාවකට පහරදුන් බව කියමින් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් පිරිසක් ඊයේ (18) පස්වරුවේ විරෝධතාවයේ නිරත වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT