Home » නොබැඳි ජාතීන්ගේ සමුළුවට ජනපති උගන්ඩාවට

නොබැඳි ජාතීන්ගේ සමුළුවට ජනපති උගන්ඩාවට

G77ත් අමතයි

by mahesh
January 19, 2024 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව සහ G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුවට (3rd South Summit of the Group of 77 & China) සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටෙබේ (Entebbe) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

එහිදී එරට ඉඩම් හා නාගරික සංවර්ධන අමාත්‍ය රුත් නන්කැබෙයර්වා (Ruth Nankabeirwa) මහත්මිය ඇතුළු පිරිස විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙයි.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගිතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්වේ.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වැනිදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර, මෙවර එහි තේමාව වී ඇත්තේ ‘කිසිවකු අත් නොහරිමු’ යන්නයි.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයන් සහ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.

නොබැඳි ජාතීන්ගේ සංවිධානය මේ වන විට සාමාජික රටවල් 120කින් සමන්විත වන අතර, බැන්ඩුන්ග් මූලධර්ම මත පදනම් වෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ඉටු කිරීම අරමුණු කර ගනිමින් එය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වන අතර, 1976 සිට 1979 දක්වා එහි සභාපතිත්වය හෙබවීය. 1976 වසරේදී ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ 5 වැනි රජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරකත්වය ද ලබා දුන්නේය.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව එහි සාමාජික රටවල් 134 අතර වෙළෙඳාම, ආයෝජන, තිරසර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාව තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂෙත්‍රයන්හි සහයෝගිතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගිතාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටලු පිළිබඳ එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම මෙම සමුළුවේදී සිදු කෙරේ.

G77 සහ චීනය සමුළුවේ සභාපති ධුරය මෙතෙක් කියුබානු ජනරජය මඟින් ද නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සභාපති ධුරය අසර්බයිජාන ජනරජය මඟින් ද දැරූ අතර, මෙම සමුළු ද්විත්වයෙහිම සභාපති ධුරය මෙවර උගන්ඩා ජනරජය විසින් භාර ගැනීමට නියමිතය.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන යන මහත්වරු ද එක්වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT