Home » මාස 6කට පසු එක්දින පිටියට පැමිණි වනිඳු කඩුලු 7ක් දවා සිම්බාබ්වේ වනසයි

මාස 6කට පසු එක්දින පිටියට පැමිණි වනිඳු කඩුලු 7ක් දවා සිම්බාබ්වේ වනසයි

ශ්‍රී ලංකාවට 2-0ක තරගාවලි ජයක්

by mahesh
January 12, 2024 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර, ඡායාරූප-සුදත් නිශාන්ත

සංචාරක සිම්බාබ්වේ පිල සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි තරගය තවත් පන්දු 62ක් ඉතිරිව තිබියදී කඩුලු 8කින් ජය ලැබූ ශ්‍රී ලංකා පිල තරගාවලිය 2-0ක් ලෙස ජය හිමිකර ගනියි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති තෙවැනි එක්දින තරගයේදී මාස 6කට පසු එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසි වනිඳු හසරංග කඩුලු 7ක් බිඳ හෙළා සිම්බාබ්වේ පිල අසරණ කිරීමෙන් මේ තරගාවලි ජය ශ්‍රී ලංකා පිල පහසුවෙන් වාර්තා කළේය.

වනිඳු අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර තිබුණේ පසුගිය වසරේ ජූලි 9 වැනිදායි. විරාමයකින් පසු පිටියට පිවිසි ඔහු ජාත්‍යන්තර එක්දින තරගයකදී ආර්. ප්‍රේමදාස තණතිල්ලේ හොඳම පන්දු යැවීම සටහන් කළ අතර, ශ්‍රී ලංකාවේ එක්දින තරගවල හොඳම දෙවැනි පන්දු යැවීම ද ඊයේ ක්‍රිකට් වාර්තා පොතේ සටහන් කළේය. ශ්‍රී ලංකාවේ හොඳම එක්දින පන්දු යැවීම චමින්ද වාස් වාර්තා කළේ 2001 වසරේදී එස්එස්සී පිටියේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 19කට කඩුලු 8ක් බිඳ හෙළමිනි.

වනිඳු එක්දින ක්‍රිකට් දිවියේ ඕවර 5.5-1-19-7ක් වූ ඔහුගේ හොඳම පන්දු යැවීම ඊයේ වාර්තා කළ අතර, මෙයට පෙර අයිසීසී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ බුලවායෝහිදී ඔහු ඕවර 8-1-24-6ක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව හොඳම දක්ෂතාව සටහන් කොට තිබිණි.

පාදයේ ආබාධයෙන් පසු වෛද්‍ය උපදෙස් අනුගමණය කරමින් නිසි වේලාවට පිටියට පිවිසි වනිඳු නිවැරදි රිද්මයකින් යුතුව කඩුල්ල කෙළින්ම පන්දු යැවීම කැපී පෙනිණි. එහි ප්‍රතිඵලයක් ලෙස සිම්බාබ්වේ පිතිකරුවන් සිවුදෙනකු කඩුල්ල මුවා කිරීමේ වරදට ගොඳුරු වූ අතර, තවත් පිතිකරුවෙක් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ක්‍රීඩාගාරයට ගියේය. මේ තරගයට වර්ෂාව දෙවරක්ම බාධා ගෙනදුන් හෙයින් තරගයේ එක් ඉනිමක් ඕවර 27කට සීමා කෙරුණු අතර, කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල ඕවර 22.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 96ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඕවර 16.4ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 97කින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. මුහුණදුන් පළමු ඕවරයේදීම පිට පිට තෙවැනි වරටත් දැවී ගිය ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොළැඹූ අතර, ශ්‍රී ලංකාවේ 212 වැනි එක්දින ක්‍රීඩකයා ලෙස වරම් දිනාගත් ආරම්භක පිතිකරු 19 හැවිරිදි ෂෙවෝන් ඩැනියෙල් හා නායක කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 72කදී ලකුණු 73ක සබඳතාවක් ගොඩනැංවූහ.

තම 27 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ නායක කුසල් මෙන්ඩිස් පන්දු 51කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ නොදැවී ලකුණු 66ක් හා ෂෙවෝන් ඩැනියෙල් පන්දු 28කදී හතරේ පහරක් සමඟ ලකුණු 12ක් එක් කළහ. තරගයේ ජය වාර්තා වෙද්දී සධීර සමරවික්‍රම පන්දු 17කදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 17ක් ලබා සිටියේය.

සිම්බාබ්වේ පිලේ ආරම්භක පිතිකරු යුගලය වූ ජෝයිලෝඩ් ගුම්බී හා කයිටානෝ ලකුණු 43ක සබඳතාවක් ගොඩනැංවූ අතර, පිතිකරුවන් 5ක් ලකුණු 2කට වඩා රැස් කළේ නැත.

ඊයේ තරගයේ වීරයා ලෙස වනිඳු හසරංග නම් කළ අතර, මේ තරගාවලියෙන් එක්දින වරම් දිනාගත් ජනිත් ලියනගේ තරගාවලියේ වීරයා ලෙස නම් කෙරිණි.

ඕවර 50 එක්දින තරග ආකෘතියේ සිම්බාබ්වේ පිලට එරෙහිව ශ්‍රී ලංකාව සිය ආධිපත්‍යය දිගටම පවත්වාගෙන යන අතර, මෙතෙක් ඉතිහාසයේ පැවති එක්දින තරග 64න් තරග 49ක ජය ශ්‍රී ලංකා පිල සතු විය. තරග 12ක් සිම්බාබ්වේ ජයගත් අතර, තරග 3ක් විසඳුමකින් තොරව නිමාවට පත් වූවේය. සිම්බාබ්වේ අවසන් වරට 2022දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය අනිද්දා (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT