කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 94 වැනි වරටත් සංවිධාන කරන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය එළැඹෙන මාර්තු මස 2 සහ 3 දෙදින කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. මීට සමඟාමීව දෙවිදුහල් අතර එක්දින තරගය මාර්තු 17 වැනිදා එස්.එස්.සී පිටියේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වසර 93ක් පමණක් මේ තරගය පැවැත්වුවද මේ තරගය අරම්භ වී මේ වසරට සියක් වසරක් සපුර්ණ වීම විශේෂත්වයකි. 1886 වසරේදී ආරම්භ වු ආනන්ද විදුහලේ ශාඛාවක් ලෙස 1925දී නාලන්දා විදුහල ආරම්භ විය. ආනන්ද විද්‍යාලයේ 39 වැනි සංවසරයේදී නාලන්දා විදුහල වෙනම විදුහලක් ලෙස නම් කිරීමට කටයුතු කර තිබිණි. ආනන්දය සහ ශාඛා විදුහල අතර සුහද ක්‍රිකට් තරගයක් පළමුවරට පවත්වා ඇත්තේ 1924 වසරේදීය. පසුව 1926 වසරේදී ආනන්ද – නාලන්ද වාර්ෂික මහා ක්‍රිකට් තරගය නිල වශයෙන් ආරම්භ විය.
විවිධ හේතුන් මත වසර කිහිපයක් තරගය සංවිධාන කර නොමැති අතර, එසේ නොවන්නට මෙවර 100 වැනි තරගය පැවැත්වීමට අවස්ථාව තිබිණි. මෙරට ක්‍රිකට් වංශකතාවම රන් අකුරෙන් සනිටුහන් කිරීමට ආනන්දය මෙන්ම නාලන්දය නොමසුරුව දායක වී ඇත. පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස නාලන්දා විදුහල් පුත් බන්දුල වර්ණපුර ඉතිහාසයට එක් වන අතර, ලෝක කුසලානයක් දිනාගත් පළමු නායකයා ලෙස ආනන්ද විදුහල් පුත් අර්ජුන රණතුංග ඉතිහාසට එක්ව සිටී. එදා මෙදා ඉතිහාසයේ වැඩිම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිකිරීමේ ගෞරවය හිමිව තිබෙන්නේ ද ආනන්ද – නාලන්දා දෙවිදුහලටයි. 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ වැඩිම පිරිසක් ආනන්දයෙන් හා නාලන්දයෙන් බිහිවු ක්‍රීඩකයන් වීම සුවිශේෂ සිදුවීමකි. ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවති අතර, එම අවස්ථාවේදී 94 වැනි සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් දෙවිදුහල් ඒකාබද්ධ කමිටුවක් එක්ව එම කමිටුවට හා තරගාවලියට නව නිල ලාංඡනයක් එළි දැක්වීම සිදුවිය. මේ අවස්ථාවට ආනන්ද විදුහලේ විදුහල්පති ඩී.එම්.එල්. දිසානායක, නාලන්දා විදුහල්පති ඊයන් චම්පික සිල්වා මහත්වරු ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ආනන්ද – නාලන්ද ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරජුන රණතුංග, සිදත් වෙත්තමුණි, රොෂාන් මහනාම, බ්‍රෙන්ඩන් කුරුප්පු, චරිත් සේනානායක, මහේල ජයවර්ධන, කුමාර ධර්මසේන ඇතුළු ක්‍රීඩයකයන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.