Home » ජනතාව පාර්ලිමේන්තුවෙන් සහ දේශපාලනඥයාගෙන් ඈත් වුණොත් රට අරාජික වෙනවා

ජනතාව පාර්ලිමේන්තුවෙන් සහ දේශපාලනඥයාගෙන් ඈත් වුණොත් රට අරාජික වෙනවා

by mahesh
January 12, 2024 1:00 am 0 comment

රටේ පොදු මහජනතාව පාර්ලිමේන්තුවෙන් සහ දේශපාලඥයන්ගෙන් ඈත් කරවීමේ යම් යම් කුමන්ත්‍රණ සිදු වෙමින් පවතින බවත්, එසේ වුණොත් රටේ ස්ථාවරභාවය නැතිවී ර‍ට අරාජිකවීමේ අවදානමක් පවතින බවත් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවැසීය.

නියෝජ්‍ය කතානායකවරයා මේ බව පැවැසුවේ පසුගියදා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාමඩල සිට පල්ලෙරොට, බරවකුඹුක දක්වා පොම්පීකරණ ජල නල දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

පවුල් 2500ක පමණ ජල ගැටලුවට මෙමඟින් විසඳුම් ලැබුණු අතර, මේ සඳහා වැය වු මුදල රුපියල් මිලියන 178.1කි.

පල්ලෙරොට මිණිමුතු ප්‍රජා මුල සංවිධානය, බරවකුඹුක රුහුණුපුර දිවි සරණ ප්‍රජා මුල සංවිධානය, අම්බලන්තොට ප්‍රාදේශීය සභාව, ජාතික ප්‍රජා මුල දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහ සැමට ජලය ව්‍යාපෘතිය යටතේ රජයේ ප්‍රතිපාදනවලින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය කතානායකවරයා මෙසේ ද පැවැසීය.

“එදා බණ්ඩාරනායක මහතා ගොවි ජනපද නිර්මාණය කරනකොට මේ ප්‍රදේශවලට අවශ්‍ය වාරි පද්ධතිය සකස් කළා. නමුත් පැවති සමහර ආණ්ඩුවල අඩුපාඩුකම් නිසා මේ ප්‍රදේශවල ජනතාව සංවර්ධනයෙන් ඈත් කළා. 1994 බලය ලැබීමත් සමඟ අපට පුළුවන්කම ලැබුණා, චන්ද්‍රිකා ව්‍යාපාරය, උඩවලව ව්‍යාපාරය ඇතුළු ඒවායින් පෝෂිත වුප්‍රදේශවල ජනතාවගේ යටිතල පහසුකම් ශක්තිමත් කරන්න. ඒ අනුව විදුලිය නැති හැම මංමාවතකටම විදුලිය දීමට එදා මහින්ද රාජපක්ෂ මහතා ගෙන ගිය සැමට විදුලිය වැඩසටහන යටතේ පුළුවන්කම ලැබුණා. ඊට අමතරව මාර්ග පද්ධතිය ඉතා ශක්තිමත්ව සංව‍ර්ධන කරන්න අපට පුළුවන්කම ලැබුණා.

කොරෝනා වසංගතයෙන් රටේ ආර්ථිකය බිඳ වැටෙනකොට අපේ ව්‍යාපෘති සියල්ලම ආපස්සට හකුලා ගන්න සිදු වුණා. සියලුම සංවර්ධන ක්‍රියාදාමයන් නවත්වන්න සිදු වුණා. ජනතාවට විශාල කැප කිරීම් කරන්න සිදු වුණා. තමන් බලාපොරොත්තු වු බොහෝ දේවල් ඒ ආකාරයට කර ගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. අපිත් එදා පළාත් සභාව නියෝජනය කර පාර්ලිමේන්තුවට ගියත්, පාර්ලිමේන්තුවට ගියපු දවසේ ඉඳලාම අපට පළාත් සභාවේදී කළ සමහර සංවර්ධන ව්‍යාපෘති පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. ඒ වේලාවේ මේ ප්‍රදේශයේ අපේ ප්‍රජා ජල ව්‍යාපෘතියේ නිලධාරී මහත්වරුන් සියලු දෙනා සහ ජනතාව එකතු වෙලා කිව්වා, අපි කොහොම හරි මේ වතුර ටික ගන්න ඕනෑ කියලා. ඒකට බරවාකුඹුකේ කුඩා නගර ව්‍යාපෘතියේ නිලධාරීන් හැමෝම නැතත්, බොහෝ අය උනන්දු වෙලා අපට උදව් කළා. ඒ අනුව අපට, රජයට කරන්න බැරි වු සංවර්ධන ව්‍යාපෘතිය මහජනතාවගේ ශක්තියෙන් කරන්න පුළුවන්කම තිබුණා. මේ ව්‍යාපෘතිය කරන්න රජයේ ඇස්තමේන්තු මුදල විශාලයි. අපි මාමඩලේ ඉඳලා බරවාකුඹුක යන තෙක් මේ ව්‍යාපෘතිය අවසන් කළේ මේ ගමේ අපි නියෝජනය කරන ගමේ අය. ටෙන්ඩර් කොන්ත්‍රාත්කාරයන් නෙවෙයි.

ඒ නිසා මම කියන්න කැමැතියි, මේ ව්‍යාපෘතිය කවදාවත් මම මේ ගමේ ඉපදුණේ නැත්නම් වෙන්නේ නෑ. මම ගමේ ඉන්න නිසා ලොකු වුවමනාවක් තිබෙනවා, මේ වැඩේ කර ගන්න. ඒ නිසා හැමෝටම වඩා මට මගේ ගමේ වැඩේ වටිනවා. ඒ නිසා ගොඩක් මහන්සි වුණා. ඒ මහන්සි වුණේ ජනතාවගේ තිබෙන විශ්වාස නිසා. මහජන නියෝජිතයෙක් නැති හැම තැනකම, මොන දේ පටන් ගත්තත් ඒක කරන්න පුළුවන්කමක් නෑ. ගොඩක් වේලාවට මහජන නියෝජිතයා දෙන නායකත්වයත් එක්ක ජනතාව කටයුතු කරනවා නම්, ගොඩක් දේවල් අපට කරන්න පුළුවන්. මීට කලින් අපි එහෙම ගොඩක් දේවල් මේ රටේ කර තියෙනවා. මහජන නියෝජිතයා ජනතාවගෙන් ඈත් කරන්න වර්තමානයේ විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. ඒක මේ රටේ අවාසනාවන්ත තත්ත්වයක්. එහෙම වුණොත්, මේ ර‍ට ආපසු යන්නේ වළ පල්ලට. ඒ නිසා අපි සියලු දෙනාම එකට එකතු වෙලා රටක්, ජාතියක් හැටියට නැඟිටින්න ඕනෙ. කොරෝනා වසංගතය, ආර්ථිකය බිඳ වැටීම් සියල්ල ඉදිරියේ රටක් හැටියට අපි නැඟිටින්න ඕනෙ. එහෙම නැඟිටින්න නම්, අපි දෙ‍පිරිසම එක ගමනක යන්න ඕනෙ. එක පරමාර්ථයක ගමන් කරන්න ඕනෙ. එසේ වුණොත් පමණමයි මේ රට ගොඩගන්න පුළුවන් වෙන්නේ. අපි හැමදාම මේ රටේ ජනතාව වෙනුවෙන් උදව් කරන්න කැප වෙලා ඉන්නවා. දෙන හැමදේම ජනතාවට දෙන්න බලාගෙන ඉන්නවා. අපි කවදාවත් ජනතා විරෝධී වැඩ කර නෑ. මේ ඉන්න හැමෝම මහජන නියෝජිතයන් හැටියට තමන්ගේ යුතුකම් ඉෂ්ට කළ අය. ඒ නිසා තමයි ජනතාව හැමදාම ඒ අය ඉහළින් තියලා තියෙන්නේ. මොන බලවේග ආවත් මේ රටේ ජනතාවට, රටට මහජන නියෝජිතයාගේ නායකත්වය අවශ්‍යමයි.”

හිටපු කතානයක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර, ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීහු ද, ප්‍රදේශවාසීහු ද මේ අවස්ථාවට සහභාගී වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT