– ජීවන වියදමට එරෙහි විරෝධතා ප්‍රචණ්ඩ අතට
– ජනතාව රථවාහන ගිනි තබා කඩසාප්පු කොල්ලකති
– 50%ක වැටුප් කප්පාදුවෙන් පොලිසියත් වැඩ වර්ජනයේ
පැපුවා නිව්ගිනියාවේ ජීවන වියදම සහ විරැකියාව ඉහළ යෑමෙන් ජනතාව රජයට එරෙහිව සිදු කළ විරෝධතා ප්‍රචණ්ඩ අතට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කුපිත වූ ජනතාව රථ වාහන ගිනි තබමින් කඩසාප්පු කොල්ල කෑමට පටන් ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් නොව කඩ සාප්පු බිඳ රූපවාහිනි, ශීතකරණ සහ ගෘහ භාණ්ඩ සහ වෙනත් භාණ්ඩ ද කොල්ල කෑමට පටන් ගෙන ඇතැයි වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීමට පැපුවා නිව්ගිනියා අගමැති ජේම්ස් මරාපේ සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට දහසකට වැඩි හමුදා බළකායක් යොදවා ඇත.
මේ සිදුවීම වාර්තා වන්නේ එරට පොලිසිය සහ රාජ්‍ය සේවකයන් 50%ක වැටුප් කප්පාදුවට එරෙහිව පාර්ලිමේන්තුව අසළ පෙරේදා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමෙන් පසුව බව ද වාර්තා වේ. මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වැටුප් කප්පාදුව පරිගණක දෝෂයක් හේතුවෙන් සිදුවූවාක් බවය. එම වරද නිවැරැදි කරමින් ලබන මාසයේ වැටුපට එම හිඟ වැටුප එක් කරන බව ද අගමැතිවරයා සඳහන් කර ඇතැයි වාර්තා වේ.
පොලිසිය විරෝධතා මැඬලීමට එක් නොවීමෙන් ජනතාව ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොමුවීමට හේතු වී ඇතැයි ද, ඔවුන් පාලනය කිරීමට හමුදාව සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මිලියන 10ක පමණ ජනගහනයකින් යුතු පැසිෆික් දූපත් රාජ්‍යයක් වන පැපුවා නිව්ගිනියාවේ උද්ධමනය පසුගිය වසර තුළදී සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර, උද්ධමනය පාලනය කිරීමට එරට රජය අසමත් වී ඇතැයි වාර්තා වේ.