Home » අද රෑ සිනෙ ඡායාවෙන් රෑන ගිරව්

අද රෑ සිනෙ ඡායාවෙන් රෑන ගිරව්

by mahesh
January 12, 2024 1:00 am 0 comment

අද ජාතික රූපවාහිනියේ සිනෙ ඡායාවෙන් විකාශය වීමට නියමිත සිංහල චිත්‍රපටය වන්නේ ‘රෑන ගිරව්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ 1950 දශකයේ අනුරාධපුර මානාන නම් ගම්මානයේ සිදු වූ සත්‍ය සිද්ධියක් පසුබිම් කරගනිමිනි. එය ඒ ආකාරයෙන් වුවද සත්‍ය කතා පුවතේ සිදු වූ අයුරින්ම සියලුම කරුණු චිත්‍රපටයේ අඩංගු නොකරන්නට එහි අධ්‍යක්ෂවරයා වූ ධර්ම ශ්‍රී කල්දේරා හා කතා රචක වසන්ත ජයතිලක කටයුතු කර තිබිණි. චිත්‍රපටයේ නම සමඟින්ම එහි එන එක් ජනප්‍රිය ගීතයක් චිත්‍රපටය තිරගත වී වසර 57ක් ගිය ද තවමත් ජනප්‍රියව පවතී.

“රෑන ගිරා ජෝඩුවයි
හාද වෙලා ආදරෙයි
රෑන ගිරා ජෝඩුවයි
වනන්තරේ වෙනසක් නෑ
පෙම් සිතුවිලි පෑදේ
සිත ගිය තැන ආදර
රජ මාළිගාව සෑදේ”

මෙම ගීතය රචනා කර තිබුණේ ධර්මසිරි ගමගේ වන අතර සංගීතය ප්‍රේමසිරි කේමදාසයෝ ය. චිත්‍රපටය පුරාවට ගීත 8ක් අන්තර්ගතව තිබුණු අතර එම ගීත හා ගායනයෙන් සම්බන්ධ වූයේ ඩබ්ලිව්.ඩී. අමරදේව, නන්දා මාලනී, ධර්මදාස වල්පොල, ලතා වල්පොල, මිල්ටන් පෙරේරා, එම්.එස්. ප්‍රනාන්දු, ෆ්‍රෙඩී සිල්වා හා ජයතිස්ස හෙට්ටිආරච්චිය. මෙහි ප්‍රධාන නළු නිළි යුවළ ලෙසින් සම්බන්ධ වූයේ ගාමිණී ෆොන්සේකා සහ විජිත මල්ලිකාය. විජිත මල්ලිකා සුමනා ලෙසින් රංගනයෙන් එක් වූ අතර ගාමිණී ෆොන්සේකා රඟදැක්වූයේ දිසාගේ චරිතයයි. මීට අමතරව තවත් නළු නිළියන් ගණනාවක්ම එක් වූ අතර පියදාස ගුණසේකර, රංජිත් දයානන්ද, එච්.ඩී. කුලතුංග, ජෙසිකා වික්‍රමසිංහ, ශාන්ති ලේඛා, නෙල්සන් කරුණාගම, ස්වර්ණා කහවිට, ඩී.ආර්. නානායක්කාර, දෙනවක හාමිනේ, බී.ඇස්. පෙරේරා, තලතා ගුණසේකර, රුක්මණී දේවි සහ තලතා ගුණසේකර ඉන් පිරිසකි.

චිත්‍රපට සංගීතය ප්‍රේමසිරි කේමදාසගේ වන අතර චිත්‍රපටයේ එන ගීත රචනා කර තිබුණේ කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ හා සරත් කුරේය. සරත් කුරේ විසින් රචනා කළ නන්දා මාලනිය විසින් ගායනා කළ “ඈත සොඳුරු ලොවක් ඇතේ ගීතය 1971 වසරේදී ගුවන්විදුලියේ ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. එයට හේතු වූයේ මෙම ගීතය කැරැල්ලට යම් සම්බන්ධතාවයන් තිබේයැයි යන හේතුව මතය. එමෙන්ම මෙම චිත්‍රපටයේ තවත් ගීතයක් ගුවන් විදුලිය මඟින් තහනම් කරන්නට විය. එම ගීතය රචනා කරනු ලැබුවේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ විසිනි. එම ගීතය වූයේ “පොල් මලින් පෙරා දෙන පානය” යන ගීතයයි. ගීතය ගායනා කරනු ලැබුවේ ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ ෆ්‍රෙඩී සිල්වායි.

චිත්‍රපටය නිෂ්පාදන කිරීමේ කටයුත්ත භාරගනු ලැබුවේ ඒ.එම්. සේනානායක සහ නිහාල් වික්‍රමසිංහයි.

අද (12) සිකුරාදා රාත්‍රී 10.00ට චිත්‍රපටය විකාශයවීමට පෙර රාත්‍රී 9.30 සිට ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම සහ ප්‍රවීණ මාධ්‍ය‍ෙව්දී තිලකරත්න කුරුවිට බණ්ඩාර පවත්වනු ලබන සිනමා සාහිත්‍ය විචාරයක් සමඟින්ද සම්බන්ධවීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT