Home » නාවෙ නුඹ විතරයි බලන්න එන්න

නාවෙ නුඹ විතරයි බලන්න එන්න

ගේය පද රචක අමිල තේනුවර

by mahesh
January 12, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ, තක්ෂිලා උදයංගනී, නිශ්ශංක විජේරත්න, පසිඳු මිහිරාන් රැටියල, උදිත ගුණවර්ධන

ප්‍රවීණ ගේය පද රචක අමිල තේනුවරගේ විසිපස් වසරක ගේය පද ගමන් මඟේ විසිපස් වසරක සැමරුම වෙනුවෙන් “නාවෙ නුඹ විතරයි” ප්‍රසංගය ජනවාරි මස 18 වන දින සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. මෙම ප්‍රසංගය සඳහා අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් විසි දෙනකු සහභාගී වන අතර ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ දර්ශන රුවන් දිසානායක ප්‍රමුඛ වාදී සංගීත කණ්ඩායම විසිනි, ප්‍රසංගය මෙහෙයවනු ලබන්නේ කැළුම් ශ්‍රීමාල් විසිනි. මේ අමිල තේනුවර “නාවෙ නුඹ විතරයි” ප්‍රසංගය පිළිබඳව අප සමඟ කළ සංවාදයයි.

” නාවෙ නුඹ විතරයි ” ප්‍රසංගය මොකක්ද?
නාවෙ නුඹ විතරයි කියන්නේ කරුණාරත්න දිවුල්ගනේ ගයන මා ලියූ ගීතයක්. මට ආදරය කරන, ආදරය නොකරන සියලු දෙනා මගේ රසික කුලයට අයත් වෙනවා. ඒ සැමට මගේ ගීත අහන්න එන්න කියලා ආරාධනා කරනවා. මේ අයගෙන් කවුරුන් හෝ ප්‍රසංගයට නාවොත් මට කියන්න වෙන්නේ නාවේ නුඹ විතරයි කියලා.

මේ ප්‍රසංගයට සහභාගී වන ගායක ගායිකාවන් කවුද?
ඇත්තෙන්ම පසුගිය අවුරුදු කිහිපය තුළ විවිධ හේතු නිසා මේ ආකාරයේ ප්‍රසංග පැවැත්වීමට නොහැකි වුණා. ඒත්, මේ විරාමය නිමා කරන්නට අපට හැකියාව ලැබුණා. ඇත්තෙන්ම “නාවෙ නුඹ විතරයි” ප්‍රසංගයට මෙරට සිටින සුභාවිත ගීත ගායනා කරන ගායක ගායිකාවන් මෙන්ම නව පරපුරේ සහ අපේ පරපුරේ ශිල්පීන් රැසක් සහභාගි වෙනවා. දිවුල්ගනේ, අමරසිරි, ශෂිකා නිසංසලා, වේරලියද්ද, කසුන් කල්හාර, සමිතා මුදුන්කොටුව, ජානක වික්‍රමසිංහ, චන්දන ලියනආරච්චි ඇතුළු ගායක ගායිකාවන් රැසක් සහභාගි වෙනවා.

මේ ප්‍රසංගයේ මූලික වර්ණය බවට පත්වෙලා තිබෙන්නේ සුදු පැහැයයි. මෙමඟින් මම අපේක්ෂා කරන්නේ, සියලු දෙනා සමඟ ඒකාත්මික භාවයක් ඇති කර ගැනීමටයි. විවිධත්වය සමඟ සැහැල්ලුව, සුපැහැදිලි බව සුදු වර්ණය තුළ සැඟව තිබෙනවා. මගේ ප්‍රසංගයේ පමණක් නොවෙයි, මෙය අපේ සමස්ත කලාව තුළම තිබිය යුතුයි.

ඔබ තවමත් තරුණයෙක්, ගීත රචකයෙක්, කලාකරුවෙක්, ඒ වගේම ලේඛකයකු විදිහටත් ඔබේ කලා ගමන් මඟ පිළිබඳ යමක් කිව හැකිද?
මම පුවත්පත් මාධ්‍යවේදියකු විදිහට කලක් කටයුතු කළා. ඒ අතර කාව්‍ය ග්‍රන්ථ, ගීත පොත් රචනා කර තිබෙනවා. මම මේ ගමන එක රැයකින් ආපු කෙනෙක් නොවෙයි. හෙමින් හෙමින් අඩියෙන් අඩිය ආපු කෙනෙක්. අද වෙන කොට මම ගීත දහසකට වැඩි ප්‍රමාණයක් ලියා තිබෙනවා. මගේ අරමුණ වෙලා තිබෙන්නේ සංඛ්‍යාත්මකව වැඩි ගීත ප්‍රමාණයක් ලියන එක නොවෙයි. ගුණාත්මකව අර්ථයෙන් වැඩි සුභාවිත ගීත රචනා කිරීමයි. ඇත්තෙන්ම මම ලියූ කිසිදු ගීතයක් දැන් මගේ නොවෙයි. ඒ සියලු ගීත අයිති මගේම ආදරණීය රසික රසිකාවියන්ටයි. ඒ, ඔබටයි.


බැලේ නර්තන ප්‍රසංගයක්

නර්තනයේ චමත්කාරය La Beaute De La Danse- (Beauty of Dance) මැයෙන් බැලේ නර්තන ප්‍රසංගයක් මෙම මස 14 දින පස්වරු 6.30 ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. ප්‍රවීණ බැලේ නර්තනාචාර්ය කපිල පලිහවඩන මහතා යටතේ nATANDA Ballet School හි මහනුවර ශාඛාවේ නර්තනය හදාරන ලද සිසු සිසුවියන් මෙහි දී නර්තන ඉදිරිපත් කිරීමට නියමිතය. ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් බැලේ නර්තනාචාර්යවරියක වන Maria Jankovic මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රසංගය පැවැත්වෙයි.


‘වස්සානයට පසු’ හෙට

‘වස්සානයට පසු’ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ අභිනන්දන උලෙළ (2023) එළැඹෙන 13දා සවස 2.00ට හොරණ, කරඳන, වාසනා උත්සව ශාලාවේදී පැවැත්වේ.

හරවත් දෙසුමක, ඉමිහිරි ගී පොකුරක රස විඳින්නට, අඩ සියවසක සාහිත පෙළහරට පැමිණෙන මෙන් සියලු දෙනාට ආරාධනා කර සිටින අතර, අසුන් සීමිත බැවින් කල් තබා පැමිණෙන ලෙස ද සංවිධායක මණ්ඩලය දන්වා සිටී.

කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංස්කෘතික අංශය සහ සුදර්ශි සංවාද කුලකය එක්ව සංවිධානය කරන මේ උලෙළ සඳහා, හොරණ වාසනා බේකර්ස් පුද්ගලික සමාගම අනුග්‍රාහකත්වය දක්වයි.


තුන් සිතක ගී සෙනසුරාදා

විශාරද ටී. එම් ජයරත්න, විශාරද සසිකා නිසංසලා, හා කසුන් කල්හාර එක්ව ගී ගයන “තුන් සිතක” ගී ප්‍රසංගය එළඹෙන 13 වැනිදා සවස මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ. ප්‍රවීණ සංගීතවේදී ලලිත කලා වාද්‍ය විශාරද මනෝජ් පීරිස්ගේ සංගීත අධ්‍යක්ෂණයට ත්‍රී තාල් වාද්‍ය වෘන්දය සංගීතය සපයයි. කථනය ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදක වසන්ත රෝහණ ගෙනි.


සහෘද හරසර

ප්‍රවීණ රංගනවේදී ඩී. බී. ගංගොඩ තැන්න කලාකරුවා ඇගයීමේ උලෙළක් “සහෘද” හරසර නමින් එළඹෙන 14 වැනිදා පෙ.ව. 09.30ට මාවනැල්ල හිඟුල ගනේතැන්න සංහිඳ උත්සව ශාලාවේදී පැවැත්වේ. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි නේවාසික ශිෂ්‍යයකු වූ ඔහුට මෙම ඇගයීම් උලෙළ සංවිධානය කරනුයේ ධර්මරාජ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ කෑගලු ශාඛාව විසිනි.


තුන් සිත දැහැන් ගතවෙනා’ 14දා මීගමුවේදී

ප්‍රවීණ ගීත රචකයකු හා සංගීතඥයකු වන අශෝක කෝවිලගේ සිය දශක තුනක සංගීත දිවියේ තෝරාගත් නිර්මාණ 22ක එකතුවක් “තුන්සිත දැහැන් ගතවෙනා” ගී නිර්මාණ ප්‍රසංගය නමින් මේ මස 14 වැනිදා මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අනූව දශකයේ මුල් භාගයේදී ගී පද රචනා කරමින් ගීත ලොවට පිවිසි අශෝක කෝවිලගේ රචනා කළ මාලනී බුලත්සිංහලගේ හඬින් සත්සර හා මුසු විණි. මීට අමතරව රණවිරු රියල්ස්ටාර් තරගයෙන් ගී ලොවට පිවිසි අයෝමි පෙරේරා මෑත කාලයේ ජනප්‍රියත්වයට පත් වූ “මුහුදු රැල්ල දඟ කරද්දී” ගීතය ඇතුළු ඔහු විසින් සංගීතවත් කරනු ලැබූ ගී රැසක් ද එදින සත්සර හා මුසුවනු ඇත. ඔහු ඇතුළු දසදෙනකුගෙන් සමන්විත වාද්‍ය වෘන්දයක් “තුන්සිත දැහැන් ගතවෙනා” ගී නිර්මාණ ප්‍රසංගය සංගීතවත් කරන අතර, කථනය ජනප්‍රිය නිවේදකයකු හා ගී පද රචකයකු වන කැළුම් ශ්‍රීමාල්ගෙනි.


රන්වල පොඩ්ඩන්ට සතුටු කඳවුරක්

සහන් රන්වල ප්‍රමුඛ රංවල බළකාය මඟින් පවත්වනු ලබන රන්වල පොඩ්ඩෝ සතුටු කඳවුර 12 සහ 16 දෙදින තුළ පැවැත්වේ. අද මීගමුව නගර ශාලාවේදී, එළබෙන 16 වැනිදා රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී ද පැවැත්වෙයි. මෙම කඳවුරුවලට සහභාගී වීමට කැමති පාසල් වියේ පසුවන පොඩ්ඩන්ට රන්වල බළකායේ නිල වෙබ් අඩවිය හරහා සම්බන්ධ වී එහි ඇති දුරකතනය හරහා සම්බන්ධ වී පැමිණීම තහවුරු කළ හැකියි.


වයලීනයේ රජුගේ ප්‍රසංගය 18

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Art councll සංවිධානය කරනු ලබන ලෝක ප්‍රකට සංගීතඥයකු වන ආචාර්ය එල්. සුබ්‍රමනියම්ගේ පුත් ඉන්දියාවේ වයලීනයේ නවතම රජු ලෙස “The Times of India” මුද්‍රිත මාධ්‍ය ඔස්සේ හඳුන්වා දුන් ආචාර්ය අම්බි සුබ්‍රමනියම්ගේ ප්‍රසංගය එළඹෙන 18 වැනිදා සවස පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින දවල් 01.00 සිට 2.30 දක්වා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල හින්දුස්ථාන හා කර්ණාටක සංගීතය හදාරන විද්‍යාර්ථයන් සඳහා සංගීත වාදන වැඩමුළුවක් ද පවත්වනු ලබයි.


කලම්බු ලෙජන්ඩ් යූටියුබ් අතරට

90 දශකයේ ඈ තාරකාවී ගීතයෙන් රසික ආකර්ෂණය දිනාගත් ටිරෝන් මද්දුමගේ 2024දී සංගීත කලාවේ පෙරළිකාර කාර්යකට අත ගසා තිබේ. එදා මෙදාතුර දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් හැර ගිය සාමාජිකයන් එක්කර කලම්බු ලෙජන්ඩ්ස් නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවන්නට ඔහු මූලිකත්වය ගෙන තිබේ. එම සංගීත කණ්ඩායම වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ගීත මෙහි ගායනා කිරීම විශේෂත්වයකි. මේ වනවිටත් එහි ගීත 10ක් නිර්මාණය වී ඇති අතර ඉන් 3ක් එළිදක්වා තිබේ. ටිරෝන් මද්දුමගේ, ඔහුගේ දියණිය ෂෙහානි තමාරා මද්දුමගේ ඇතුළු ගායක ගායිකාවන් පිරිසක් මෙහි ගී ගායනා කරන අතර යූටියුබ් සමාජ මාධ්‍ය හරහා මෙම නව කාර්යය ජනගත කිරීමට ඔහු සූදානමින් සිටියි. අවුරුදු 8දී ගායන ක්ෂේත්‍රයට පා තැබූ ටිරෝන් මද්දුමගේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බී ශ්‍රේණියේ ගායකයෙකි. ඈ තාරකාවී, තක්සලාවි, සඳේ රිදීසිනා, අභිමානයි ශ්‍රී ලංකා, හසුන්තලාවී ආදී කැසට්පට සහ සී. ඩී පට රාශියකින් ජනාදරයට පත් වූ ටිරෝන් මද්දුමගේ එදා සිට අද දක්වාම සංගීත ක්ෂේත්‍රයේ සිය අනන්‍යතාවය රැකගත් ප්‍රවීණ ගායන ශිල්පියෙකි.


නෙතු දැහැන් කොළඹදී

විශාරද එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, දියණිය ශාරන්‍යා ජයකොඩ් සහ පුතු චන්දූප ජයකොඩි එක්ව ඉදිරිපත් කරනු ලබන නෙතු දැහැන් ප්‍රසංගය ජනවාරි මස 14 වනදා පස්වරු 6.30ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ සුගත් හෙට්ටිආරච්චි විසින් වන අතර දිනේෂ් සුබසිංහ පේෂල මනෝජ් වාදනයෙන් එක්වෙති. ප්‍රසංගයේ කථනය යශෝධා විමලධර්ම, ක්ලිෆර්ඩ් රිචඩ් සහ පූර්ණිකා පීරිස්ගෙනි.


ලස්සනට පිපුණු වන මල් ලයිව් ඉන් කොන්සර්ට්

මිනිසකු මෙන් සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරේ දිනාගත් බයිලා ගීත කලාවේ රජු වූ නිහාල් නෙල්සන් ආදරණීය සංගීතවේදියා ගුණානුස්මරණය කරන ප්‍රසංගයක් එළැඹෙන 14 වැනිදා සවස මරදාන එල්පින්ස්ටන් රඟහලේදී පැවැත්වේ. ලස්සනට පිපුණු වන මල් ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගයට එදින ගී ගයනුයේ තරංග නෙල්සන් සමඟ ඉෂාක් බෙග් සමඟ විශාරද ශසිකා නිසංසලායි. එදා නිහාල් නෙල්සන්ගෙන් ඇසුණු නෑසුණු ගීත, නැටුම්, ගැයුම් මැද ප්‍රසංගය වර්ණවත් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT