Home » ඉමියුනෝග්ලොබියුලින් විමර්ශනය සීදුවේ ඖෂධ කම්හල පරික්ෂාවට ගෙනගිය හිමිකරුගෙන් වංගුවක්

ඉමියුනෝග්ලොබියුලින් විමර්ශනය සීදුවේ ඖෂධ කම්හල පරික්ෂාවට ගෙනගිය හිමිකරුගෙන් වංගුවක්

by sachintha
January 9, 2024 12:02 am 0 comment

විදුලි පරිපථ ක්‍රියාත්මක කරන ආකාරය අමතකයි කියලා

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව එම එන්නත් නිෂ්පාදනය කළ බව කියන සීදූවේ නිෂ්පාදනාගාරය හා පරීක්ෂණාගාරය ඊයේ (08) පරීක්ෂා කිරීමට ගියද එහි හිමිකරු දොරගුළු විවෘත කර දෙමින් ඊට අවස්ථාව ලබාදී නැත. සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මෙම පරීක්ෂාව සිදු කිරීමට ඊයේ ගොස් ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මෙම ආයතනයේ හිමිකරුවන සුදත් ජානක ප්‍රනාන්දු නමැති අය සමඟිනි. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව සීදූව අමන්දොළුව පාරේ පිහිටි අදාළ කර්මාන්ත ශාලාව වෙත ඔහුව රැගෙන ගොස් තිබේ.

මේ වන විට මුද්‍රා තබා වසා දමා ඇති කර්මාන්ත ශාලාවේ විදුලි පද්ධතිය තිබී ඇත්තේ පද්ධතියක් මඟින් අක්‍රිය කරමිනි. එම විදුලි පද්ධතිය ක්‍රියාත්මක කර කර්මාන්ත ශාලාවට ඇතුළු වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බන්ධනාගාරයේ නිලධාරීන් විසින් රැගෙන පැමිණි කර්මාන්ත ශාලාවේ හිමිකරුගෙන් ඉල්ලා සිටි විට ඔහු විදුලි පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන තමාට දැන් මතක නොමැති බව සඳහන්කර තිබේ.

මෙම ආයතනය තුළ වටිනා උපකරණ පවා ඇති බැවින් සහ එම උපකරණවලට මෙන්ම සාක්ෂිවලටද හානි සිදුවිය හැකි බැවින් එකවර විදුලි පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගෙන නැත.

මෙම කර්මාන්ත ශාලාවේ ඇති විදුලි පද්ධතිය කොටස් වශයෙන් ක්‍රියාත්මක කළ යුතුව ඇති බැවින් යම් හානියක් වුවහොත් ගැටලුවක් පැන නැඟිය හැකි බැවින් පරීක්ෂා කිරීම පසුවට කල්දැමුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම කර්මාන්ත ශාලාව පවා ඉදිකර ඇත්තේ නිසි අවසරයකින් තොරව බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ජලයට වර්ණ එක්කර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ ලෙස එම ජලය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයට ලබාදී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. ඒ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණවිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මියටද කරුණු දක්වනු ලැබුවාය. එම ජලයේ බැක්ටීරියා වර්ග ද ආසාදනය වී ඇති බව ද ඇය අධිකරණය හමුවේ සඳහන් කර තිබුණාය.

මෙම කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නියාමන අධිකාරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් කණ්ඩායමක් කර්මාන්ත ශාලාවේ හිමිකරුවද රැගෙන යන්නේ එබැවිනි.

මේ ගැන අධිකරණයට කරුණු දක්වා ඉදිරියේදී වෙනත් දිනයකදී මෙම කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමට පියවර ගැනීමට නියමිතය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT