පතොරමක්වත් සොයා ගන්න බැරි වෙලා
වැලිගම පැලෑනේ පිහිටි හෝටලයකට වෙඩි තැබීම හා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් වෙඩි වැදී මියගොස් උප පොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලැබීම සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවලින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙසට ඒ ආසන්නයේ ඇති හෝටලය දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බවට මෙතෙක් කළ විමර්ශනවලින් තහවුරු වී නැතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙසට වෙඩි තැබුවේ යැයි කියන හෝටල් භූමිය හා ඒ අවට දැඩි පරීක්ෂාවක් එදිනම සිදුකර ඇතත් වෙඩි තැබුවේ යැයි කියන ගිනි අවියෙන් නිකුත් වූ පතොරමක්වත් සොයා ගැනීමට නොහැකි වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විමර්ශනවලදී පවසා ඇත්තේ තමන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ දෙසට වෙඩි තැබූ බවය. එහෙත් එම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ එම නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව කියන හෝටලය දෙසට නොවන බවත් වෙනත් හෝටලයක් දෙසට බවත් විමර්ශනවලින් පෙනීගොස් ඇති බවද එම උසස් නිලධාරියා කීය.
හෝටලය දෙසින් එල්ලවුණු වෙඩි ප්‍රහාරයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනා තුවාල වී එක් අයෙක් මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා එම වෙඩි තැබීම සිදුවූ 31 වෙනිදා මාධ්‍යට සඳහන් කරනු ලැබීය. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා රැගෙන යමින් තිබුණු වෑන් රථයට වැලිගම පොලීසියේ නිලධාරීන් වෙඩි තබා ඇත්තේ කරුණු හරිහැටි වටහානොගෙන වැරදීමකින් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් නිවැරදි ලෙස තොරතුරු තහවුරුකර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගමන් කරමින් සිටි වෑන් රථයට වෙඩි තැබූ වැලිගම පොලීසියේ ජංගම මුර සංචාරක රථයේ සිටි යුද හමුදා සෙබලා සතුව තිබුණු ටී 56 අවිය රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති බව පොලිසිය කියයි. මිය ගිය පොලිස් නිලධාරියාගේ සිරුරෙන් හමුවූ වෙඩි උණ්ඩය හා හමුදා සෙබලාගේ ගිනි අවිය විද්‍යාගාර පරීක්ෂාවකට යොමුකර වාර්තාව ලැබුණු පසු සැබෑ ලෙසම පොලිස් නිලධාරියා මිය ගියේ හෝටලය දෙසින් ආවේ යැයි කියන වෙඩි ප්‍රහාරයකින් ද හමුදා නිලධාරියා අත වූ ටී 56 අවියෙන් දැයි තහවුරු වනු ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ හැරුණුකොට වැලිගම පිහිටි වෙනත් හෝටලයට වෙඩි තැබූ ගිනි අවි සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සතුව තිබුණු ටී 56 ගිනි අවි දෙකක්, පිස්තෝල 02ක් ද රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම වෙඩි තැබීම හා පොලිස් නිලධාරියෙක් මිය යාමට අදාළ මහේස්ත්‍රාත් විමර්ශනය ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිතව ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ගයාන් කුමාර වීරසිංහ