Home » සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අස්වැසුම විශේෂ ඒකකයක්

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අස්වැසුම විශේෂ ඒකකයක්

by yasara
January 8, 2024 4:57 pm 0 comment

අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා යථාවත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (08) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

2023 වසරේ සියලුම අස්වැසුම අභියාචනා ජනවාරි 31 වනදා වන විට විසඳා අවසන් කිරීමටත්, පෙබරවාරි මුල් සතිය වන විට දෙවන වටය සඳහා අලුතින් අස්වැසුම අයදුම්පත් කැඳවීමටත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අස්වැසුම විශේෂ ඒකකයක් ඇති කිරීමටත් ග්‍රාමීය මට්ටමින් ඒ සඳහා නිළධාරියෙකු පත්කිරීමටත් මෙහිදී තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

අස්වැසුම අහිමි වෙයි කියලා විශාල පිරිසකට සැකයක් සහ බියක් තිබුණා. දිසාපතිවරු ඇතුළු සියලු දෙනා ගැටලු රැසක් මධ්‍යයේ වුණත් අස්වැසුම හොඳින් ක්‍රියාත්මක කළා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු සම්බන්ධිත නිලධාරීන් සියලු දෙනා ඊට සහයෝගය දැක්වූවා. තාක්ෂණික අඩුපාඩු තිබෙනවා. එය පැහැදිලි කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කළා.

අස්වැසුම වැඩසටහනේදී ඉදිරියට අවස්ථා කිහිපයක් අභියාචනාවලට ඉඩ ලැබෙනවා. අභියාචනා විභාගයේදී දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතිවන ගැටලු නිරාකරණය කරනවා. තාක්ෂණික ගැටලුව මුල ඉඳන්ම ආවා. ධාරිතාවය මදි. දැන් අස්වැසුම වැඩසටහනට නිසි සැලැස්මක් තිබෙනවා. නිශ්චිත පියවරයන් තිබෙනවා. ඔක්තෝබර්, නොවැම්බර් මාස දෙකේදි ග්‍රාම නිලධාරීන් සියලුම ඡන්ද ලේඛන සකස්කර අවසන් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රකාශයට පත් කළ යුතු දිනයක් තිබෙන නිසා ඊට අනුකූලව ඡන්ද ලේඛනවල සියලු වැඩ අවසන් කරමට ග්‍රාම නිලධාරීන් පියවර ගත්තා. අස්වැසුම වැඩසටහනටත් එවැනි සහයෝගයක් ලබා ගැනීම අවශ්‍යයි. මේ වන විටත් රජයේ දරිද්‍රතාවයෙන් මිදීමේ වැඩසටහන විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක,  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT