ප්‍රේම සම්බන්ධයක් පවත්වනවා යැයි කියා වයස අවුරුදු දාහතරයි මාස නමයක පිරිමි දරුවෙකු පැහැරගෙන වනගත ප්‍රදේශයකට රැගෙන ගොස් ඉතා අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කොට ඇති බව කියන සැකකරුවන් දෙදෙනෙකු මේ මස 11 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (04) පස්වරුවේ නියෝග කළේය.
මීරිගම මාවීහේන ප්‍රදේශයේ පදිංචි වීරතුංග ආරච්චිලාගේ අදීප සුලක්ෂණ හා හේවා තිලක පේඩිගේ ලක්ෂාන් මංජුල යන දෙදෙනෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.
මාවීහේන ප්‍රදේශයේ පදිංචි දැරියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බව කියමින් සැකකරුවන් දෙදෙනා 2023.12.28 වනදා මීරිගම ගුරුගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි වයස දාහතරයි මාස නමයක පිරිමි දරුවෙකු මීරිගම නගරයේ සිටියදී පැහැරගෙන කන්ඩලම්කන්ද ප්‍රදේශයට රැගෙන ගොස් ඉතා අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකොට මහ මඟට ගෙනැවිත් දැමීම පිළිබඳව මීරිගම පොලිසිය මැර කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වාගෙන යද්දී පෙරේදා (03) පස්වරුවේ සැකකරුවන් දෙදෙනා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට පැමිණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.
මීරිගම පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ. ජී. ඇස්. පී. සුබසිංහ මහතා කරුණු දක්වමින් සමාන වයසැති දැරියක් සමඟ පැමිණිලිකාර දරුවා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනවා යැයි කියමින් එම දරුවා මීරිගම නගරයේ සිටියදී යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් එම දරුවා පැහැරගෙන කන්ඩලම්කන්දට රැගෙන ගොස් ඉතා අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කොට ආපසු මහාමාර්ගයට ගෙනවිත් දමා පැන යාමෙන් පසුව ඔහු රෝහල්ගත කර සිටි බව කියා සිටියේය.