Home » කැන්ද ගසක ගෙල වැලලාගෙන ලණුව කැඩී වැටී කොඳු ඇට පෙළ බිඳිලා

කැන්ද ගසක ගෙල වැලලාගෙන ලණුව කැඩී වැටී කොඳු ඇට පෙළ බිඳිලා

by mahesh
January 5, 2024 12:58 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

කැන්ද ගසක් කැපීමට යාමේදී ලණුව පැටලී වැටුණා යැයි පවසා කෑගල්ල මහ රෝහලේ කොඳු ඇට පෙළ බිඳී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමේ දී අනාවරණය වී ඇත්තේ නි‍ෙවස ඉදිරිපිට කැන්ද ගසක අඩි 20ක් පමණ උසක සිට ලණුවකින් ගෙලවැලලාගෙන සියදිවි හානි කර ගැනීමට යාමේදී ලණුව කඩා වැටී කොඳු ඇට පෙළ බිඳී රෝහල්ගත කර ඇතැයි රඹුක්කන පොලිසිය 04 වැනිදා පැවසීය.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 17 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන පොලිස් වසමේ පදිංචිව සිටින 33 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියා අසනීප බිරිඳ හා ඇගේ මවුපියන් සමඟ පදිංචිව සිටින බවත් බිරිය සමඟ ඇතිකර ගත්තා යැයි කියන පවුල් ආරවුලක් හේතුවෙන් ඉකුත් 02 දා ලණුවක් රැගෙන නි‍ෙවස ඉදිරිපිට පිහිටි කැන්ද ගසකට නැඟ ඇති බවත් පොලිසිය පැවසීය. කැන්ද ගසේ අඩි 20ක් පමණ උසට නැඟ ලණුවේ එක් කොනක් අත්තක බැඳ සෙසු කොන ගෙලෙහි ගැටගසා ගෙන සියදිවි හානිකර ගැනීමේ අරමුණින් පැන ඇති බවත් පොලිසිය පැවසීය.

පනින අවස්ථාවේ ලණුව කඩා වැටී බිමට වැටී ඇති බවත් පසුව ප්‍රදේශයේ ජනයා විසින් රෝගියා රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය. රඹුක්කන රෝහලෙන් වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර, රෝගියාගේ කොඳු ඇට පෙළ බිඳී ඇති බව වෛද්‍යවරු තහවුරු කර ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව ගෙලවැලලා ගැනීම සම්බන්ධයෙන් රෝහල් බලධාරින් රෝහල් පොලිසියට දන්වා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මූලික තොරතුරක් රෝගියාගෙන් පෙරේදා 03 වැනිදා ගැනීමට ගිය අවස්ථාවේ දී දන්වා ඇත්තේ ලණුවක් බැඳ කැන්ද ගසක් කැපීමට යාමේදී ගසේ බැඳ තිබුණු ලණුව කකුලේ පැටලී වැටුණු බවය. පසුව රෝහල් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසියට දැන්වීමෙන් පසුව සිද්ධිය වූ ස්ථානයේ මූලික නිරීක්ෂණ සටහන් තැබීමට නිලධාරියෙක් පෙරේදා (03) වැනිදා ගොස් තිබේ.

නිරීක්ෂණ සටහන් ගත් නිලධාරියා ඊයේ 04 වැනිදා දහවල් කෑගල්ල මහ රෝහලට පැමිණ අංක 17 වාට්ටුවට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශයක් සටහන් කර ගැණින. එහිදී රෝගියා කියා ඇත්තේ බිරිය සමඟ අමනාප වී බිරියට පහර දී නිවස ඉදිරිපිට තිබුණු කැන්ද ගසට නැඟ ගෙලවැලලා ගැනීමට යාමේදී ලණුව කඩා වැටී ප්‍රදේශවාසීන් විසින් රඹුක්කන රෝහලට කළ බවත් පසුව වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා සිටි බවත්ය. කෑගල්ල මහ රෝහලේ දී සිදු කරන ලද ස්කෑන් පරීක්ෂණයකින් පසුව කොඳු ඇට පෙළ බිඳී ඇති බව වෛද්‍යවරු දන්වා සිටි බවත් රෝගියා ප්‍රකාශයක් ලබා දුන් බව පොලිසිය පැවසීය.

රඹුක්කන පොලිසියේ පොලිස් සැරයන් ලලිත් (46703) විසින් මූලික විමර්ශන කටයුතු සිදු කෙරිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT