Wednesday, April 9, 2025
Home » පියා නිවසේ මියගොස් දින තුනක් 20 හැවිරිදි ආබාධිත දරුවා නිරාහාරව නිවසේ ඇඳක් උඩ

පියා නිවසේ මියගොස් දින තුනක් 20 හැවිරිදි ආබාධිත දරුවා නිරාහාරව නිවසේ ඇඳක් උඩ

by mahesh
January 5, 2024 1:00 am 0 comment

මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි

තම පියා නි‍ෙවස තුළ මියගොස් දින තුනක් ගත වුවත් ඒ පිළිබද නොදැන නිරාහාරව නිවසේ ඇඳක් මතට වී සිටි විශේෂ අවශ්‍යතා සහිත 20 හැවිරිදි දරුවකු අතුරුගිරිය ඔරුවල මිලේනියම් සිටි ප්‍රදේශයේ නි‍ෙවසක දී (04) දින සොයා ගැනීමට හැකි වූ බව අතුරුගිරිය පොලිසිය පවසයි.

අදාළ නිවස තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සමඟින් ව්‍යාපාරිකයෙකු වන ඔහුගේ පියා ජීවත්ව ඇති අතර දින තුනක පමණ කාලයක සිට ඔවුන්ගෙන් දුරකතන ඇමතුමක්වත් ලබා නොගැනීම නිසාවෙන් ඔවුන්ගේ ඥාතීන් එම නිවසට පැමිණ සොයා බැලුව ද දොර ජනෙල් වසා තිබූ බැවින් ඒ පිළිබඳව අතුරුගිරිය පොලිසිය දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන් පැමිණ අදාළ නිවසේ ඉදිරිපස දොරගුළු කඩා නිවස තුළට ඇතුළු වී සොයා බැලීමේදී එහි නාන කාමරයේ ඉදිරිපිට ලේ පැල්ලම් සහිතව මුණින් අතට වැටී සිටි නිවසේ හිමිකරුගේ මෘත දේහය හමුවු බව පොලිසිය පවසයි.

ඥාතීන්ගේ දැනුම් දීමට අනුව එම අවස්ථාවේදීම විශේෂ අවශ්‍යතා සහිත දරුවා පිළිබඳ සිදුකළ සොයා බැලීමේදී එම දරුවා නිවසෙහි කාමරයක ඇඳක් මතට වී ගුළි වී සිටින ආකාරයක් පොලිස් නිලධාරීන් දැක ඇත.

පොලිස් නිලධාරීන් විසින් ඔහුව ළඟට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී එම තරුණයා විසින් පොලිස් නිලධාරියෙකුගේ ශරීරය සූරා පසෙකට පැන ඇති බවත් පසුව ඥාතීන් එක්වී ඔහු සමීපයට ගෙන ආහාර ලබා දුන් අවස්ථාවේදී විශාල කාලයක් කුසගින්නේ සිටීම නිසාවෙන් සියලු ආහාර කෑමට ගත් බව ද පොලිසිය පවසයි.

එම තරුණයා රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදීමට නියමිත වේ.

මෙලෙස මියගොස් ඇත්තේ අතුරුගිරිය මිලේනියම් සිටි කලාප අංක 05හි පදිංචිකරුවකු වන මානවඩුගේ අමිත් විමුක්ති ද සිල්වා නමැති 64 හැවිරිදි එක්දරු පියකු වන ව්‍යාපාරිකයෙකි.

මියගිය පුද්ගලයා කොළඹ 07 රොස්මිඩ් පෙදෙසෙහි ජීවත්ව සිට ව්‍යාපාරවලින් ඉවත්ව මෙම නිවසට පැමිණ වසර දහයකට ආසන්න කාළයක් ගත වන බවත් ඔවුන් දෙදෙනාගේ සියලු ආහාරපාන වෙළෙඳසැල්වලින් ලබා ගෙන පාවිච්චි කර ඇති බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙම ව්‍යාපාරිකයාගේ බිරිය වසර අටකට පමණ පෙර රැකියාවක් සඳහා විදෙස්ගතව ඇති බවත් ඇය විසින් එවන මුදලින් දෙදෙනා ජීවත් ව ඇති බවත් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි. සිද්ධිය වූ ස්ථානයට පැමිණි තලංගම දකුණ හදිසි මරණ පරික්ෂක ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් මූලික හදිසි මරණ පර්යේෂණ කටයුතු සිදු කරන ලදී.

අතුරුගිරිය පොලිසියේ පොලිස් පරීක්ෂක උපාලි පොලිස් සැරයන් (75072) අරවින්ද පොලිස් කොස්තාපල් (67239) රණසිංහ යන නිලධාරීන් විසින් පරීක්ෂණ පැවැත්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT