Home » පළමු නීති විරෝධි වත්කම් නඩුව කුලියාපිටිය පළාත්බද මහාධිකරණයේදී විභාගයට

පළමු නීති විරෝධි වත්කම් නඩුව කුලියාපිටිය පළාත්බද මහාධිකරණයේදී විභාගයට

නීති විරෝධිව කෝටි 4ක දේපොළ ඉපැයූ යුවළක් ගැන විමර්ශන

by mahesh
January 5, 2024 1:00 am 0 comment

කුලියාපිටිය - මෙවිරු ධනාන්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක‍්‍රියාත්මක 2020දී පිහිටුවනු ලැබූ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ පළමු නීති කෘත්‍ය ඊයේ (04) කුලියාපිටිය පළාත්බද මහාධිකරණයේදී විභාගයට ගැනිණ.

ඒ, නීති විරෝධීව උපයාගත් කෝටි 4ක පමණ වත්කමක් සම්බන්ධව 2021 වසරේදී අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත සිටින සූරියහෙට්ටි මුදියන්සේලාගේ දිලීප මංජුල නිලන්ත හා දසනායක මුදියන්සේලාගේ ප්‍රියංගිකා දසනායක නමැති අඹුසැමි යුවළක් සම්බන්ධයෙනි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් තම අංශයට 2021 මුල් භාගයේ ලද පැමිණිල්ලක් මත මෙහි විමර්ශන සිදු කොට ඇත. එහිදී සැකකරු හා සැකකරුගේ බිරියට රුපියල් කෝටි 4ක පමණ දේපොළ හා මුදල් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට රක්‍ෂිත බන්ධනාගාර ගත කොට තිබිණ. සැකකරුට එරෙහි මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය චෝදනා 6ක් තිබී ඇති බවත්, ඉන් 4කට සැකකරු වරදකරුව ඇති බවත් අදාළ විමර්ශකයන් අනාවරණය කරගන තිබේ. මේ වන විටත් ඉන් දෙකක් විභාගවෙමින් පවතින බවට ද වාර්තා වේ. ඉන්පසුව නීතිපතිවරයා වෙත මේ පිළිබඳව ගොනු කොට තිබූ කරුණු අනුව නීතිපතිවරයා විසින් සැකකාර අඹුසැමියන් දෙපොළට මෙසේ අධි චෝදනා නගා තිබිණ. එහිදී සැකකරුවන් පෙර ඇප මත මුදාහරින ලෙසත්, සැකකරුවන් සන්තකයෙහි විදෙස් ගමන් බලපත් වේ නම් එ්වා අධිකරණය බාරයට පත් කරන ලෙසත් නියෝග කරමින් විදෙස් ගමන් බලපත් නොවේ නම් එ් බවට දිවුරුම් ප‍්‍රකාශ ලබා දියයුතු බවටත් නියෝග කළේය. සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු වාර්තාවක් කැඳවන්නැයි ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම නඩුව යළිත් මාර්තු මස 27 කැඳවීමට ද නියම කළේය.්‍ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් සැරයන් ගුණසේකර (61772) මහතා රජයේ අධිනීතිඥ ප‍්‍රභාත් දිසානායක සමඟින් පැමිණිල්ල මෙහෙයවූ මෙම නඩුවේ සැකකරුවන් වෙනුවෙන් නීතිඥ කමාලි වසුන්දරා මහත්මිය පෙනී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT