Monday, April 21, 2025
Home » පොලිස් අණ නොතකා ඉගිළුණු පැදිකරුවෝ බසයක හැපී රෝහලේ

පොලිස් අණ නොතකා ඉගිළුණු පැදිකරුවෝ බසයක හැපී රෝහලේ

by mahesh
January 5, 2024 12:55 am 0 comment

මීගොඩ - බී. කේ. කත්‍රිආරච්චි

කොළඹ – රත්නපුර මාර්ගයේ හංවැල්ල, කළුඅග්ගල වනහගොඩදී පොලිස් අණ නොතකා වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් පෙරේදා (03) රාත්‍රියේ සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව හංවැල්ල පොලිසිය පැවසීය.

හංවැල්ල පොලිසියේ නිලධාරීන් විසින් වනහගොඩ පොලිස් මාර්ග බාධකය අසල රථවාහන පරීක්ෂාවේ යෙදී සිටියදී අනතුරට පත් යතුරුපැදිය කළුඅග්ගල දෙස සිට පහත්ගම දෙසට වේගයෙන් ධාවනය කිරීම පිළිබඳව සැක සිතී එම යතුරුපැදිය නවත්වන ලෙස සංඥා ලබාදී තිබුණත් පොලිස් අණ නොතකා වේගයෙන් ඉදිරියට ධාවනය කළ අවස්ථාවේදී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට පැමිණි පෞද්ගලික බස් රථයක ගැටී අනතුර සිදුව ඇත. එම රිය අනතුරත් සමඟ රථවාහන තදබදයක් ඇතිව තිබූ බැවින් මාර්ග බාධකයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් වහා අදාළ ස්ථානයට ගොස් බරපතළ තත්ත්වයෙන් තුවාල ලබා සිටි පැදිකරු සහ පසුපැදිකරු 1990 ගිලන් රථයක් ගෙන්වා කොස්ගම සාලාව රෝහල වෙත යැවීමට කටයුතු කර තිබේ. අනතුරට පත් දෙදෙනාට සාලාව රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවත්, දෙදෙනාගේ ශරීරයේ අස්ථි බිඳීම් විශාල ප්‍රමාණයක් තිබූ බවත් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.

අනතුරට පත් පැදිකරුවන් දෙදෙනා පොලිස් අණ නොතකා වේගයෙන් ධාවනය කිරීමට හේතුව අධිකව බීමතින් සිටීම බවට සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ. බස් රථයේ රියැදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හංවැල්ල පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක හේමන්ත, පොලිස් සැරයන් (54580) ඒකනායක, පොලිස් කොස්තාපල් (99127) රත්නායක යන මහත්වරු වැඩිදුර විමර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT