වසර 28ක් විදේශයන්හි සේවය කර ඉපැයූ මුදල් දරුවන් වෙනුවෙන් වැය කර, මෙරටට පැමිණ ටික කලකින් කිසිවකුත් නොසලකා හැරීම හේතුවෙන් අසරණව, මානසික අසහනයට පත්ව මහමඟ වැටී සිටි මවකට ඉංගිරිය පොලිසිය පිහිටවීමේ පුවතක් පෙරේදා (03) වාර්තා විය.
58 හැවිරිදි මෙම කාන්තාව පාසල්, රාජ්‍ය ආයතන ඉදිරිපිට මෙන්ම මහා මාර්ගය අද්දර දින ගණනක සිට අසරණව වැටී සිටින බවත්, ඇතැම් අවස්ථාවලදී ඇය නිර්වස්ත්‍රව ද සිටින බවටත් පොලිසියට ලද තොරතුරුවලට අනුව සොයා බැලීමේදී ඇය ඉංගිරිය ප්‍රදේශයේම පදිංචි එක්දරු මවක බවත්, ඥාතීන් ඇතුළු පිරිස් ද ඉංගිරියේම පදිංචිව සිටින බවටත් සොයාගෙන තිබේ. වසර 28ක් තිස්සේ අඛණ්ඩව විදේශයන්හි සේවය කර තිබෙන ඇය ඉන් ඉපැයූ මුදල් ද සිය දරුවාට මෙන්ම ඥාති හිතවතුන්ට ද ලබා දී ඇති බවත්, මෙරටට පැමිණි පසු ඔවුන්ගේ නොසලකා හැරීම් හමුවේ ඇය තනිව කිසිවකුගේ හව්හරණක් නොමැති තත්ත්වයකට පත්ව අවසානයේ මහමඟට වැටී ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය පැවසීය. මෙම කාන්තාව කිහිප අවස්ථාවකදීම රෝහල්ගත කිරීමට මෙන්ම වැඩිහිටි නිවාසවලට යොමු කිරීමට ද විවිධ පුද්ගලයන් කටයුතු කර තිබුණ ද ඒ සෑම අවස්ථාවකදීම ඇය එම ස්ථානවලින් ද පැනගොස් නැවත මහමඟටම පැමිණ තිබේ.
ස්ථානාධිපති වසන්ත චන්ද්‍රලාල් මහතාගේ උපදෙස් පරිදි, පොලිස් පරීක්ෂක සංජය, සැරයන් (70153) මෙන්ඩිස් සහ කොස්තාපල් (12944) ක්‍රිෂාණි යන පිරිස මෙම කාන්තාව පොලිසියට රැගෙනවිත් අවශ්‍ය මූලික සත්කාර සිදුකර අධිකරණයේ ද උපදෙස් පරිදි ගංගොඩවිල ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථානයකට දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ යොමුකර ඇත.