Wednesday, April 9, 2025
Home » ජපානය ජය ගත් බානගල හිමියෝ

ජපානය ජය ගත් බානගල හිමියෝ

by mahesh
January 5, 2024 1:00 am 0 comment

තිස්ස ජයවර්ධන

ජපානය සහ ඉන්දියාව ඇතුළු විදේශයන් රැසක මහත් ගෞරවාදරයට පාත්‍ර වී සිටින බානගල උපතිස්ස හිමියෝ අද (5) සිය දිවියේ 74 වැනි විය සපුරති. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

බානගල පදිංචිව සිටි වතු පාලකවරයකු වූ හෙන්ද්‍රික් ජයසේන සහ ලියන‍ගේ ප්‍රේමවතී යුවළගේ සත්වැනි දරුවා ලෙස 1950 ජනවාරි 5 දා උපත ලද පිරිමි දරුවාට උපතිස්ස යනුවෙන් නම් තැබිණි. එවකට වැඩ විසූ බානගල සීලරතන හිමියෝ උපතිස්සගේ පියාගේ සොහොයුරෙකි. සීලරතන හිමියන්ගේ ඉල්ලීමක් පරිදි මැටිවල සංඝරතන සහ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස යන නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් උපතිස්ස දරුවා පැවිදි කිරීමේ අරමුණින් 1961දී කොළඹ මහාබෝධි විහාරය වෙත කැඳවාගෙන එනු ලැබීය. ඉන් වසරකට පමණ පසු එනම් 1962 අගෝස්තු මාසයේදී බරණැස ඉසිපතනාරාමයට යෑමට කුඩා උපතිස්සට අවස්ථාව උදා විය. එහිදී සාරානාත්හි මහා‍බෝධි විද්‍යාලයට ඇතුළත් වූ උපතිස්ස ධර්ම විනය, ඉතිහාසය සහ හින්දි භාෂාව උගත්තේය. 1967දී යළි ශ්‍රී ලංකාවට පැමිණි හේ මරදානේ මහා‍බෝධි විහාරයේදී 1967 ඔක්තෝබර් 19 දා පැවිදි බිමට ඇතුළත් විය.

වසර කීපයක් ධර්ම විනය සහ අභිධර්මය ප්‍රගුණ කිරීමෙන් පසු 1970දී උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූ උපතිස්ස හිමියෝ යළිත් ඉන්දියාව බලා පිටත්ව ගියහ. එහිදී සාංචියේ උසස් විදුහලක් වූ ‘හයිස්කූල්’ විදුහලට ඇතුළත්ව ඉංග්‍රීසි සහ හින්දි භාෂා පිළිබඳ මහා දැනුමක් ලැබූහ. ශාස්ත්‍රපති උපාධියද දිනාගත් උපතිස්ස හිමියන්ට වරක් කැලණිය සරසවියේ බාහිර කථිකාචාර්ය ධුරයක් පිරිනැමුණ නමුත් උන් වහන්සේ එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළහ. උන් වහන්සේ අදහස් කළේ අමෙරිකාවේ සරසවියකින් වැඩි දුර අධ්‍යාපනය ලැබීමටය. ඒ සඳහා ඉල්ලුම් කළ උපතිස්ස හිමියන් එයට තෝරා ගනු ලැබුවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ අවස්ථාව මඟහැරිණි. පසුව උපතිස්ස හිමියන්ට ජපන් භාෂාව ඉගෙනීමේ ආශාවක් ඇති විය. වරක් ඉන්දියාවේ සාරානාත්හිදී දැනහැඳිනගෙන සිටි ඉතා ධනවත් වෛද්‍යවරයකුගේ බිරිය වූ යොෂිඩා මැතිනියට ඒ බැව් දන්වා යැවීමෙන් පසු උන් වහන්සේට අධ්‍යාපන කටයුතු සඳහා පූර්ණ සහාය දීමට යොෂිඩා මැතිනිය එකඟ වූවාය. ඒ අනුව ජපානයේ TOKIYO NIHOUGO GAKKO නම් විදුහලට ඇතුළත් වීමට උපතිස්ස හිමියන්ට අවස්ථාව ලැබිණි. ජපානයේ ඉගෙනීම සඳහා උන් වහන්සේගේ නවාතැන වූයේද යොෂිඩා මැතිනියගේ නිවාසය විය. යොෂිඩා මැතිනිය තම දරුවන්ට මෙන්ම උපතිස්ස හිමියන්ටද පුදුම අයුරින් සලකන්න වූවාය. උපතිස්ස හිමියන්ගේ සියලු අඩුපාඩු සපුරාලමින් ඇය ඉමහත් භක්තියෙන් උන් වහන්සේට ගරු සත්කාර කළාය. මේ ගරු සැලකිලි පිටුපස රහසක් ගැබ් වී තිබිණි. තම මිය ගිය පුතකු උපතිස්ස හිමි ලෙස උපත ලබා ඇතැයි ඇය තුළ පැවති දැඩි විශ්වාසය එයට හේතු විය.

උපතිස්ස හිමියන්ට ජපානයේදී ඇති වූ තවත් බලවත් ආශාවක් වූයේ ශ්‍රී ලංකාවේ ළදරු අධ්‍යාපනය නංවාලීමය. ඒ සඳහා තමා තුළ පවතින බලාපොරොත්තුව යොෂිඩා මැතිනියට දැන්වීමෙන් පසු ඒ අදහස මුදුන්පත් කරගැනීමට පූර්ණ සහාය දීමට ඇය පොරොන්දු වූවාය. ඒ අනුව සපුගස්කන්ද යොෂීඩා ළදරු පාසල ආරම්භ කිරීමට උපතිස්ස හිමියන්ට අවස්ථාව හිමි විය. 1979දී ආරම්භ කළ එය අද ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක් බවට පත් වී තිබේ. ජපානයේ ආධාර ඇතිව බානගල උපතිස්ස හිමියන්ගේ මඟපෙන්වීම යටතේ ආරම්භ කර ඇති සමාජ සේවා සහ ළදරු පාසල් සංඛ්‍යාව 50කට අධිකය. දිස්ත්‍රික් කීපයක ඒ ආයතන පිහිටුවා තිබේ.

ජපානයේ සවාරාහි ඉදි කළ ප්‍රථම ශ්‍රී ලාංකික ථෙරවාදී විහාරය (ලංකාජි විහාරය) බානගල හිමියන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයකි. ඉන්දියාවේ සාංචිය සංවර්ධනය කිරීමද උන් වහන්සේ සමාජ සේවාවල කැපීපෙනෙන කාර්යයකි. සාංචි පුදබිම අද ලෝක උරුමයක් බවට පත් වී තිබේ. උපතිස්ස හිමියන්ගේ සමාජ මෙහෙවරේ කැපීපෙනෙන අවස්ථා අතර බානගල ග්‍රාමය වැඩිදියුණු කිරීම, සුනාමි නිවාස සංකීර්ණය ඇති කිරීම ඇතුළු තවත් සමාජ සේවා රාශියකි.

බානගල හිමියන්ගේ ආගමික මෙහෙවර ඇගයීමක් වශයෙන් 1980දී උන් වහන්සේ වෙත ජපානයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමිණි. මීට අමතරව මහාබෝධි සංගමයේ සභාපති පදවිය ද උන් වහන්සේට පැවරිණි. ලෝක ජනනායකයන් රැසකගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වී සිටින බානගල උපතිස්ස හිමියන්ට තවත් දීර්ඝ කාලයක් සාසනික සහ සමාජීය මෙහෙවරක් ඉටු කරනු පිණිස අපි දීර්ඝායු පතමු.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT