Home » පරිපාලන-පළාත් පාලන සේවයේ පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර ගන්න

පරිපාලන-පළාත් පාලන සේවයේ පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර ගන්න

by mahesh
January 5, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

පරිපාලන සේවයේ හා පළාත් පාලන සේවයේ දැනට පුරප්පාඩුව පවතින තනතුරුවලට සුදුසුකම් සහිත නිලධාරීන් පත් කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ 2024 පළමු ප්‍රගති සමාලෝචන රැස්වීමට පෙරේදා (03) එක් වෙමින් අගමැතිවරයා මේ උපදෙස් දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙලෙස ද කීවේය:

“බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ බඳවා ගත් බහු කාර්ය සහායකයන් විසි පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කර තිබෙනවා. ඉතිරි හාරදහසකට ආසන්න ප්‍රමාණය දැනට ඔවුන් අනුයුක්තව සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ අදාළ පළාත් සභාව වෙත ස්ථිර කිරීම සඳහා වන යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට කටයුතු කරනවා.

“රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මේ වසරේ රට පුරා ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති ඉටු කිරීමේ ප්‍රමුඛ වගකීම දැරීමට සූදානම් විය යුතුයි. පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ඊ-ග්‍රාම නිලධාරී වැඩසටහන මේ වර්ෂයේ ජනතාවට පහසුවක් වන පරිදි ප්‍රතිඵල ළඟා කර ගත හැකි ඉලක්ක සහගත වැඩසටහනකට ගමන් කරවීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නා.

“මේ වසරේ රට පුරා සිදු කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනාධිපතිවරයා දින කිහිපය තුළ අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. එම සංවර්ධන කටයුතු රට පුරා ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ වගකීම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීවරුන් සහ සංවර්ධන නිලධාරීන් මඟින් ගම් මට්ටම දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා. ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන් සහ පළාත් පාලන ආයතන දක්වා ද මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. එය ජන ජීවිතයේ සාධනීය වෙනසක් ඇති කිරීමට ඉවහල් වේවි. එම සංවර්ධන කටයුතුවල ප්‍රමුඛ වගකීම ඉටු කිරීමට අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් එක්ව කටයුතු කළ යුතුයි.”

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වී

සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT